කොළබ නගරය තුල තැන තැන හිද සිටින යාචකයන් මෙන්ම මංසන්දි වල සිට වාහනයට තට්ටු කරන යාචකයන්ද ඔබ කොතෙකුත් දැක ඇත. මෙවන් ජනාකීර්ණ ස්ථාන වල හදුන්කුරු, කපුරුබෝල වැනි දෑ අලෙවිකරන්නන්ද යාචක පිරිස් ලෙසම සැලකිය හැක්කේ අප කිසිදිනෙක එවන් භාණ්ඩයක් අවශ්‍යතාවයකට එවැනි පුද්ගලයින්ගෙන් මිලදී නොගන්න නිසාත් සෑමවිටම භාණ්ඩය ප්‍රතික්ෂේප කර ඔවුන්ට සුලුමුදලක් ලබාදීමට පෙළබි ඇති නිසාත්ය. 


කොරෝනා වසංගතය පැමිණීමට පෙර නම් ඔවුන්ට හොද ආදායම් ලැබෙන්නට ඇතැයි අපට විශ්වාස කල හැක්කේ  වැඩිවූ යාචකයන් ප්‍රමාණය සහ ඔවුන්ගේ දිනෙන්දින නවීකරණය වූ මහජන අනුකම්පාව දින ගැනීමේ ක්‍රම පිළිබද සලකා බැලිමෙන්ය. මෙම සමස්ත පිරිස අතුරින් ඉතා සුළුතරයක් සැබෑම ආර්ථික අපහසු තාවයන් ඇතිව මෙම තත්වයට පත්වූවන් වුවත්, බහුතරය මෙය තමන්ගේ ඉතාමත් ලෙහෙසි ජිවන උපාය බවට පත් කරගෙන සිටි. දහවලට දකින්නට සිටින බහුතරයක් යාචකයින් රාත්‍රියට නගරයේ දකින්නට නොලැබෙන්නේ ඒ නිසාවෙන්ය. 


ඒ කෙසේ වුවත් මෙම දෙපිරිසම සදහා අවධානය යොමු කිරීම රටේ පාලකයන්ගේ යුතුකමක් වන්නේය. ජිවත් වන්නට ක්‍රමයක් නැතිව සිගමන් යදිනවානම් ඔවුන්ට ජිවත් වන්නට ක්‍රමයක් සලසා දිය යුතුය. රැකියාව වශයෙන් සිගමන් යදිනවානම් එය වංචාවකි. ඔවුන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කළයුතුව ඇත. ඉතා වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රබේදයේ වේගවත්ම ප්‍රවාහකයින් මොවුන් වීමට ඇති සම්භාව්‍යතාවය ඉතා වැඩිය. මෙම පුද්ගලයින් බහුතරය වයසින් ඉතා වැඩිය, නිසි ආකාර මුව ආවරණයක් පලදින්නේ නැත, නිසි සෞක්‍ය උපදෙස් පිලිනොපදි. එපමණක්ද නොව නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සැරිසරයි. 


කොළබ පමණක් නොව දිවයින පුරාම යාචකයින් නිසි ආකාරව නියාමනය කිරීම ඉතාම කාලීන අවශ්‍යතාවක්ව පවතී. මේ වසංගත කාලසීමාවේදී එය පැතිරීම වැලක්වීමට ගත යුතු ප්‍රධාන පියවරක් වන මෙය, සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම් උපයන මාර්ගයක් වන ශ්‍රී ලංකාවේ නගර වල අලංකාරය සහ විදේශිකයින් අපහසුතාවයට පත්වීම වැළක්වීමටද ඉවහල් වනු ඇත. සැබෑවටම ප්‍රශ්නයක් තිබෙන්නන්ට මුලිකම ප්‍රශ්නය ආහාර සහ නවාතැන් ගැනීමට ස්ථානයකි. සිර ගෙදරක උවත් මේ අවශ්‍යතාවයන් දෙක සම්පුර්ණ වේ. ඒ අයුරින් බලන විට සිගමනේ යෙදෙමින් දුක් විදිනවට වඩා ඔවුන්ට සිර ගෙදරට යාම හොද විකල්පයක් විය යුතුය. නොඑසේනම්, රජය විසින් ග්‍රාම සේවක සහ නගර මට්ටමෙන් මේ පිලිබදව වැඩසටහනක් සැලසුම් කල යුතුව ඇත.