කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු අද ඊයේ ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාලයක් නොවන අතර 1980 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලය සදහා භූමිය පරිත්‍යාග කර ඇත්තේ නීති ආචාර්ය ජෙනරාල් ශ්‍රීමත් සර් ජොන් ලයනල් කොතලාවල මහතා විසිනි. අක්කර 48 කින් යුක්ත මෙම භූමි ප්‍රදේශය එතුමා ජීවත් වූ කදවල වලව්ව පිහිටි කදවලවත්ත යි. අදටත් එතුමා භාවිතා කල සියලු බඩු මුට්ටු සහිතව මෙම වලව්ව සහ ඔහු භාවිතා කල 1 ශ්‍රී කැඩිලැක් වර්ගයේ මෝටර් රථය මෙම විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල දැක ගැනීමට හැක. 


එතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉතාමත් ශ්‍රේෂ්ඨ වූ දේශපාලන දිවියක් ගත කල මෙරට තුන්වන අග්‍රාමාත්‍යවරයා ලෙස ද තම ධූරය හෙබවීමට කටයුතු කල අයෙකු විය.  ඔහුගේ පරම අභිලාසය වී ඇත්තේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙන ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය සේවයේ යෙදීමට අපේක්ෂා කරන තැනැත්තන්ට සහ වෙනත් සිවිල් තැනැත්තන් වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් නංවාලීම සදහා විශ්වවිද්‍යාලයක් ඉදිකර දීමයි. 


මෙය රජයට පවරා ගැනීමෙන් අනතුරුව නිසි ආකාරව පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු පනතක් (1981 අංක 68 දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත) මගින් පුහුණු ආයතනයක් බවට පත් කර ඇත.  


අද වන විට මෙම විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යංශය යටතේ නියාමනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුදැනුම ඇතිව සියලු බලතල ක්‍රියාත්මක වන සහ පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් මුදල් අමාත්‍යංශය හරහා ලබා ගැනීමට ප්‍රතිපාදන සැකසී ඇති පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත වූ පෞද්ගලික විශ්වවිද්‍යාල ඝනයට අයත් නොවන රජයේ විශ්වවිද්‍යාලය කි. 


ශ්‍රී ලංකාව තුල පවතින විශ්වවිද්‍යාල පද්ධතියට රුකුලක් වෙමින් උසස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත වූ එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය මෙය නොවන අතර සාගර විශ්වවිද්‍යාලය, තාක්ෂණික විශ්වවිද්‍යාලය සහ භික්ෂු විශ්වවිද්‍යාලය ඒ ඒ විෂය පථයන්ට අදාල වන අමාත්‍යංශය හරහා නියාමනය වන පරිදි පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපිත කර රටට අවශ්‍ය ශ්‍රමය ලබා දීමට ශ්‍රේෂ්ඨ පුරවැසියන් බිහිකිරීමට කටයුතු කර ඇත. කොතලාවල පනත් කෙටුම්පත මෙන්ම ඉහත සදහන් විශ්වවිද්‍යාල වලට අදාළ පනත් වලින්ද පාලනයකට නතුවන්නේ ඒ ඒ විශ්වවිද්‍යාල පමණක් වන අතර එවන් කිසිම පනතකින් වෙනත් අධ්‍යාපන ආයතනයක් හෝ විශ්වවිද්‍යාලයක් පාලනය කල නොහැක. ඉහත රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භ වී ඇති පනත් වල සහ කොතලාවල පනත් කෙටුම්පත අතර ඇත්තේ සුළු වෙනස්කම් කිහිපයකි. එනම් සමස්ථ අධ්‍යාපනයටම බලපෑමක් නැත. 


කොතලාවල නව පනත් කෙටුම්පතට අනුව ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව බලතල සහ වගකීම් ලබා දී ඇත. කිසිදු විට මෙහි සදහන්  බලතලයක් භාවිතා කර අයුතු ලෙස තනි තීරණ ගැනීමට නොහැකි වන පරිදි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන පරිදි නීති විශාරදයන් විසින් සකස් කර ඇත. එනම් දේශපාලනික බලපෑම අවම වන පරිදි ජාතික ආරක්ෂාව තර කරමින් අධ්‍යාපන ව්‍යුහයට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සකස් වී ඇත. 


අධ්‍යාපනය "මිලිටරීකරණය" වීමක් මෙහිදී සිදු නොවන අතර ඒ වෙනුවට මිලිටරිය හා සිවිල් සමාජය "අධ්‍යාපනික" වීමක් පමණක්ම සිදු වෙයි. ඊට හේතුව මෙම කෙටුම්පත මගින් 1981 සිට වූවාක් මෙන්ම ඉදිරියටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පමණක් නියාමනය වීම හා ඒ තුලින් විශිෂ්ඨයන් බිහිකිරීමයි. 


විශ්වවිද්‍යාලයේ ව්‍යුහය


ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල ආරක්ෂක විශ්වවිද්‍යාල ව්‍යුහය ආභාස කොට ගෙන මෙහි ව්‍යුහය සකස් කර ඇත. දශක 4 ක් පුරාවට ඉතාමත් විනය ගරුක උපාධිධාරී විශිෂ්ඨතයන් 5000 කට වැඩි පිරිසක් බිහිකිරීමට මෙම විශ්වවිද්‍යාලය සමත් වී ඇත. 1988 දී අංක 27 දරණ සංශෝධිත පනත මගින් උපාධි පිරිනැමීම සදහා බලතල එවකට පැවති ආණ්ඩුව මගින් ලබා දී ඇත. (නව කෙටුම්පතේ 5(ඒ) වගන්තිය) ඒ අනුව 1988 දී විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වී ඇති නමුත්  2007 මාර්තු 18 දින අංක 50 දරණ සංශෝධිත පනත මගින් කොතලාවල ආරක්ෂක පුහුණු ආයතනය (Kotelawala Defense Academy) යන නම වෙනස් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (Kotelawala Defense University) ලෙස නම් කර ඇත. 


ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරාවට පැවති යුද්ධය අවසන් කිරීමෙන් පසුව නැවත යුද්ධයක ගිනි සිළු නැගීමට ඉඩක් නොතියා ජාතික ආරක්ෂාව තර කිරීමට ගත් පියවරක් ලෙස මෙම විශ්වවිද්‍යාලය පුළුල්  කිරීමට කටයුතු කර ඇති අතර 2009 දී පළමු වරට වෛද්‍ය පීඨය ස්ථාපිත කර ඇත. 2012 වර්ෂය වන තෙක් කැඩට් නිලධාරීන් පමණක් බදවා ගැනීම සිදු කර ඇති අතර 2012 වර්ෂයේදී සිවිල් ශිෂ්‍යයන් ද බදවා ගැනීමට කටයුතු කර ඇත. 


ඊට ප්‍රධානතම හේතු වන්නේ, 


01) ශ්‍රී ලංකාව තුල විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට සුදුසුකම් සපුරාලන ළමුන් ප්‍රමාණය ඉතාමත් අධික වූවද දැනට පවතින විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුලත් කර ගත හැකි සිසුන් ගණන  සීමා සහිත වීමත් ඒ තුලින් බොහෝ තරුණයන් රැකියා විරහිත වීමත්, 


02) රටේ පවතින ආර්ථික තත්වය හමුවේ වැඩි වශයෙන් රටට අවශ්‍ය වන ශ්‍රම බලකාය නිර්මාණය කිරීමටත්, 


03) හමුදාව හා සිවිල් සමාජය අතර පවතින බැදීම වර්ධනය කිරීමටත්, 


04) රටේ ජාතික ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂාව තර කිරීමටත්, 


05) ශ්‍රී ලංකාවේ සිසුන් එතෙර අධ්‍යාපනය සදහා යොමුවීමේදී රටෙන් පිටවෙන මුදල් ප්‍රමාණය අවම කිරීමටත්, 


06) විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දක්ශතා ඇති හා නව නිර්මාණ බිහිකිරීමට හැකියාව ඇති තරුණ පරම්පරාවට තෝතැන්නක් කර දී රටට විනය ගරුක උගත් පුරවැසියන් බිහිකිරීමේ පරම අභිලාෂයෙන් ය. 


ඒ අනුව මේවන විට සිවිල් උපාධිධාරීන් 1000 කට වැඩි පිරිසක් බිහිකිරීමට මෙම විශ්වවිද්‍යාලය සමත් වී ඇත. අද වන විට පීඨ 9 කින් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය  ප්‍රමිතියන්ට අනුකූලව ඉදිකර ඇති නව තාක්ෂණය අතින් ඉදිරියෙන්ම පවතින සහ පවතින වසංගත තත්වය හමුවේ විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින විශ්වවිද්‍යාල රෝහලකින් (KDU University Hospital) යුක්ත පරිපූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇත. තවද ඉදිරියේදී තාක්ෂණික පීඨය සහ අපරාධ යුක්ති පීඨය ස්ථාපිත කිරීමට නියමිතව ඇත. එමෙන්ම රාජ්‍ය ආරක්ෂාව හා අධ්‍යාපනික පරීක්ෂණ සිදු කිරීම අතින් මෙන්ම නව නිර්මාණය බිහිකිරීම අතින්ද ඉහළ ස්ථානයක් හිමිවී ඇත. දැනට ලෝකයේම පවතින ආරක්ෂක විශ්වවිද්‍යාල අතුරින් 4 වන ස්ථානය හිමි වී ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වේ. 


තවද මේවන විට 1981 පනත යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට, ශ්‍රී ලංකා මිලිටරි පුහුණු ආයතනය(SL Military Academy) , ශ්‍රී ලංකා නාවික පුහුණු ආයතනය (SL Naval Academy) , ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු ආයතනය (SL Air force Academy), ජාතික ආරක්ෂක විදුහල (National Defense College) හා හමුදා ප්‍රවර්ධන පාසල ( Army School of Logistics) වැනි අධ්‍යාපනික ආයතන අනුබද්ධිත කර උපාධි පිරිනැමීම සිදු කරනු ලබයි. (නව කෙටුම්පතේ 5 වන වගන්තිය) 


(2008 අංක 31 දරණ වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 5(ඊ) වගන්තියෙන් හා 2014 අංක 31 දරණ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතේ 5 (ච) වගන්තිය ප්‍රකාරව ඉහත සදහන් බලතල ඒ අයුරින්ම ලබා දී ඇත.)


සාගර විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය හා තාක්ෂණික විශ්වවිද්‍යාලය සහ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම (1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 32 - 39 වගන්ති ප්‍රකාරව ස්ථාපිත කර ඇති නිලතල වලට බොහෝ සමානකම් ඇති) විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම සදහා පහත නිලධරයන්ට අදාළ නිල ධූර 1981 අංක 68 දරණ පනත ප්‍රකාරව දැනටමත් පවතින අතර නව පනත් කෙටුම්පතේ 9 වන වගන්තිය යටතේ ද තවදුරටත් ප්‍රතිස්ථාපනය කර ඇත. 


01) කුලපතිවරයා

02) උපකුලපතිවරයා 

03) මණ්ඩපවල ප්‍රධානීන්

04) නියෝජ්‍ය උපකුලපතිවරයා(ආරක්ෂක සහ පරිපාලන)

05) නියෝජ්‍ය උපකුලපතිවරයා (ශාස්ත්‍රීය)

06) සෑම පීඨයකම පීඨාධිපතිවරු

07) මූලස්ථාන බලඇණියේ සේනාංකයේ අණදෙන නිලධරයා

08) සහායක නිලධරයා

09) ලේඛකාධිකාරීවරයා

10)පුස්ථකාලාධිපතිවරයා

11) මූල්‍යාධිකාරීවරයා


මෙහිදී අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙන්ම කුලපතිවරයා සහ උපකුලපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර උපකුලපතිවරයා වශයෙන් ත්‍රිවිධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරිවරයෙකු සේවා මාරු ක්‍රමයට පත් කරනු ලැබිය යුතුය. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් වන බැවින් සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම නිලය දැරීමට අවශ්‍ය හමුදාමය පාරිසරික දැනුම සහ අත්දැකීම්  නොමැතිකම පමණක්ම වේ. 


තවද නව කෙටුම්පතේ 10 වන වගන්තිය ප්‍රකාරව උපකුලපතිවරයා සතු බලතල සහ වගකීම් අනෙකුත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සතු බලතලවලට බෙහෙවින් සමාන වේ. ( 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 34 වගන්තිය ප්‍රකාරව අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන් සතු බලතල සහ වගකීම්)  


තවද 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 40 වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාලය ක අධිකාරිත්වයන් වන කවුන්සලය, සෙනට් සභාව, පීඨ මණ්ඩලය, පාලක මණ්ඩලය හා අනෙකුත් ව්‍යුහයන් මගින් පාලනයක් සිදුවේ. එසේම අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ද අධිකාරිත්වයන් හෙබවීම සහ පාලන කටයුතු විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම උදෙසා නව කෙටුම්පතට අනුව 18 වන වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයක් ද, 22 වගන්තිය ප්‍රකාරව කවුන්සලයක් ද, 23 වගන්තිය ප්‍රකාරව සෙනට් සභාවක් හා 24 වගන්තිය ප්‍රකාරව පීඨ මණ්ඩලයකින් ද සමන්විත වේ. 


එක් එක් ව්‍යුහයන්ට අදාල බලතල හා වගකීම් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මගින් හා ඉහත සදහන් සාගර විශ්වවිද්‍යාල, භික්ෂු විශ්වවිද්‍යාල  සහ තාක්ෂණික විශ්වවිද්‍යාල පනත් මගින් එම ව්‍යුහයන්ට ලබාදී ඇති බලතල හා වගකීම් වලට බෙහෙවින් සමාන මෙන්ම අනුකූල වන පරිදී ඉහත සදහන් වගන්ති යටතේ නව කෙටුම්පතේ අන්තර්ගත කර ඇත. 


සිසුන් බදවාගැනීම සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුලත් වීම සදහා ඕනෑම සිසුවෙකු අපො/ස උ/පෙළ සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසු කම් ලැබිය යුතු ය. එපමණක් නොව ඔහු හෝ ඇය බාහිර ක්‍රියාකාරකම් වල නිරත වී ඇති අයෙකු වීමද ඉතා ඉහලින් සැලකීමකට භාජනය වේ.


2008 අංක 31 දරණ වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 2 වන වගන්තියේ හා 2014 අංක 31 දරණ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතේ 2 වන වගන්තියේ සදහන් කරුණම කිසිදු වෙනසකින් තොරව නව කොතලාවල කෙටුම්පතේ 2 වන වගන්තිය ප්‍රකාරව ද "1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ කුමක් සදහන් වුවද එය නොතකා..." යන ලෙස සදහන් වීමට ප්‍රධානම හේතුව වන්නේ, කැඩට් නිළධාරින් සහ සිවිල් ශිෂ්‍යයන් (Dayscholar) බදවා ගැනීමේදී 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතින් තරමක් ඉවත් වී Z-Score අගය පමණක් සැලකිල්ලට භාජනය වනවා වෙනුවට ඊට අමතරව සම්මුඛ පරීක්ෂණ 3 කට සහ විභාග 4 කට (ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නපත්‍රයක්, අයදුම් කල අදාළ පීඨය ආශ්‍රිත ප්‍රශ්නපත්‍රයක්, මනෝවිද්‍යාත්මක ප්‍රශ්නපත්‍රයක් සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්නපත්‍රයක්)  සහභාගී වීමෙන් අනතුරුව මේවා අතරින් ඉහළින්ම ලකුණු ලබා ගන්නා අයදුම්කරුවන්ගෙන් ඉතාමත් සීමිත ප්‍රමාණයක් Z-score අගය අනුව පෙළ ගස්වා විශ්වවිද්‍යාලය සදහා බදවා ගැනීමක් සිදු කරයි. එනම් Z-score අගය අනුව දිස්ත්‍රික්කයේ එක දෙක වූ සිසුවෙකු පවා ඉහත ක්‍රියාවලියේ දී ලකුණු ප්‍රමාණය අඩු වූවොත් ඉවත් වී යාමට ඉඩ ඇත. 


අනෙකුත් කිසිදු විශ්වවිද්‍යාලයක මෙවැනි වූ ප්‍රමිතියකින් යුක්ත ක්‍රියාවලියක් යටතේ බදවා ගැනීම් සිදු නොකරයි. ඒ අනුව පෙනී යන්නේ ශාරීරික මෙන්ම මානසිකව ද නීරෝගී අධ්‍යාපන සුදුසුකම් අතින් ඉහළ මට්ටමක් ඇති විශේෂ දක්ෂතා ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි සියල්ල සදහා තම උසස් අධ්‍යාපනය ඉතාමත් විනය ගරුක පරිසරයක් තුල නිශ්චිත වූ කාලයක් තුල ලබා ගැනීමට අවකාශය සලසා දී ඇති බවකි. 


නිදහස් අධ්‍යාපනය යන සංකල්පය තුලද ළමයෙකු කුඩා කල සිටම රජයට යම් මුදලක් ගෙවනු ලබයි. උදාහරණ ලෙස පාසලක පහසුකම් හා සේවා ගාස්තු හා විශ්වවිද්‍යාලයක හොස්ටල් සදහා ගෙවන ගාස්තු, පහසුකම් හා සේවා ගාස්තු, ඇතුලත් වීමේ ගාස්තු, පුස්ථකාල ගාස්තු, විභාග ගාස්තු, උපාධි ප්‍රධාන උත්සවය සදහා ගෙවන ගාස්තු. 


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල කැඩට් ශිෂ්‍යයන්ට වැටුපක් ගෙවන අතර ආහාර පාන, ඇදුම් සේදීම සහ අනෙකුත් පහසුකම් සදහා ද ඔවුන්ගේ වැටුපෙන් යම් සාධාරණ මුදලක් අයකර ගනු ලබයි. තවද සිවිල් සිසුන් සදහා විධිමත් ප්‍රමිතියකින් යුක්ත උසස් අධ්‍යාපයක් ලබා දීම වෙනුවෙන් යම් සාධාරණ මුදලක් අය කිරීමක් (වෛද්‍ය පීඨය සදහා ශ්‍රී ලංකා සිසුන්ට වලංගු නොවේ) සිදු කරන අතර එය උපාධිය සදහා වැය වන මුදලක්ම නොවන අතර රජය විසින් සපයා ඇති විශ්වවිද්‍යාලයේ පවතින පහසුකම් හා අනෙකුත් වියදම් සැලකිල්ලට ගෙන නියම කර ඇත. 


ඒ අනුව මෙම කෙටුම්පත හරහා ද නිදහස් අධ්‍යාපන ව්‍යුහය විකෘති වීමක් හෝ මිලිටරීකරණයක්  සිදු වන්නේ නැත. මුදල් තිබූ පමණින් විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට අවකාශයක් නොමැති අතර ඇතුලත් වීමට වරම් ලැබූ පමණින්ද උපාධිය ලබා ගැනීමට නොහැක. ඒ සදහා කැපවී පාඩම් කර විභාග හා අනෙකුත් අධ්‍යන කාර්‍යයන් සමත් විය යුතු වේ.


මෙසේ ඇතුලත් කරගන්නා කැඩට් ශිෂ්‍යයන් සහ සිවිල් ශිෂ්‍යයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් සියල්ල එකට එක්ව ඒ ඒ පීඨයන්ට අදාල එකම දේශන ශාලාවක් තුල ඉගනගැනීම් කටයුතුවල නිරත වේ. මෙමගින් හමුදාව සහ සිවිල් අයවලුන් අතර මනා සංහිදියාවක් ඇති වේ. බොහෝ රටවල මෙම මූලධර්ය භාවිතා කර මොවුන් අතර පවතින සංහිඳියාව වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇතිවීම තවත් විශේෂ කරුණකි. 


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  විශේෂත්වය වන්නේ අදාල උපාධියේ කාල සීමාව අවසානයේ ඉතා ඉක්මනින්ම තම උපාධිය ලබා ගැනීමට හැකි වීමත්, අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය  තුල පවතින නවක වදයක් නොමැතිවීමත්, දේශපාලනයට නතු වී උද්ඝෝෂණ අරගල සදහා තරුණයන්ගේ වටිනා කාලය වැය නොවීමත්, "ලොකු මිනිහෙක් නොවේ පුතේ හොද මිනිහෙක් වියන්" යන ප්‍රසිද්ධ කියමනට අරුතක් දෙමින් ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව රටට වැඩදායක විනය ගරුක පුද්ගලයෙකු ලෙස සමාජයට පැමිණීමටත් ඇති හැකියාවයි. 


මූල්‍යමය කටයුතු


මෙහිදී මූල්‍යමය කටයුතු සම්බන්ධව නව කෙටුම්පතේ 32 - 42 වගන්ති ප්‍රකාරව ප්‍රතිපාදන සලසා ඇත. මෙම වගන්ති සමග 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 98 - 111 වගන්‍ති සසදා බැලූ විට කිසිදු වෙනසක් නොමැති අතර ඇති එකම වෙනස වන්නේ කොමිසමේ යම් යම් ක්‍රියාකාරිත්වන් පාලක මණ්ඩලය තුලින් පිළිබිඹු වීමයි. නමුත් පාලක මණ්ඩලයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජනයක් ඇති බැවින් පාලක මණ්ඩලය සතු බලතල සියල්ල කොමිසමේ පූර්ණ අනුදැනුම ඇතුව ක්‍රියාත්මක වීම මගින් කිසිදු ගැටලුවක් මතු නොවේ.


ඒ අනුව පාලක මණ්ඩලය විසින් අය වැය ඇස්තමේන්තු සහ වාර්ෂික මුදල් විසර්ජන සලකා බලා යෝජනා සම්මතයක් මගින් සම්මත කර යුතු අතර පසුව විශ්වවිද්‍යාල ගිණුම් සමග ඒවා අමාත්‍යවරයාට යොමු කල යුතු වේ. අමාත්‍යවරයා විසින් නැවත පරීක්ෂා කර අවශ්‍ය යයි සලකනු ලබන අවස්ථාවක දී සංශෝධන කල හැක. තවද 35 වගන්තිය ප්‍රකාරව මූල්‍යාධිකාරීවරයා සතු වගකීම් පෙන්වා දී ඇත. 


මෙහි වැදගත්ම වගන්තිය වන්නේ 40 වන වගන්තිය ප්‍රකාරව අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල මෙන්ම රාජ්‍ය සංස්ථාවල ගිණුම් විඝණනය කිරීම සම්බන්ධයෙන් අදාළ වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන විශ්වවිද්‍යාල ගිණුම් විඝණනය කිරීම සදහා අදාළ විය යුතු බවයි. ( 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 107 (5) උපවගන්තියේ, 2008 අංක 31 දරණ වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 47 වන වගන්තියේ හා 2014 අංක 31 දරණ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතේ 51 වගන්තියේ ලෙසම ඇත) 


ඒ අනුව කෙටුම්පතේ 42 වන වගන්තිය ප්‍රකාරව  විඝණකාධිපතිවරයාට විශ්වවිද්‍යාල ගිණුම් විඝනනය කිරීමට බලය පවරා ඇත. ඒ අනුව ඔහුගේ වාර්තාව අමාත්‍යවරයාට යොමුකල පසු එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම අමාත්‍යවරයාගේ වගකීම වේ. 


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අනුදැනුම. 


මෙහිදී නව කෙටුම්පතේ 18(ඌ) , 22 (ආ) iv,  වගන්ති ප්‍රකාරව ඇති පාලක මණ්ඩලය හා කවුන්සලය යන අධිකාරි ව්‍යුහයන් තුල  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා විසින් පත් කරනු ලබන තැනැත්තන් ඇතුලත් වේ. ඒ අනුව මෙම ව්‍යුහයන් මගින් ගනු ලබන තීන්දු තීරණ සෑම විටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ පූර්ණ අනුදැනුම යටතේ ඉතාමත් විනවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක වේ. 


තවද පාලක මණ්ඩලයට අදාල බලතල සම්බන්ධව කෙටුම්පතේ 19 (ආ) උපවගන්තියේ ඉතාමත් පැහැදිලිව දක්වා ඇත්තේ, උපාධ, ඩිප්ලෝමා, සහතික පත්‍ර හා වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ඨතා ප්‍රදානය කිරීම පිණිස විශ්වවිද්‍යාල කොමිසම් සභාව විසින් නියමාවලි මගින් තීරණය කරනු ලැබිය හැකි යම් අධ්‍යයන තත්වයන්ට වඩා අඩු නොවන අධ්‍යයන තත්වයන්ට අනුකූලව අධ්‍යයන පාඨමාලා හා පුහුණු පාඨමාලා අනුමත කල යුතු බවයි. 


ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ප්‍රමිතින්ට අනුකූලව හා පූර්ණ අනුදැනුම යටතේ මනා ලෙස නියාමනය වීමට අදාල ප්‍රතිපාදන නව කෙටුම්පත හරහා ද ලබා දී ඇත. 


අමාත්‍යවරයා සතු බලතල


මෙහිදී අමාත්‍යවරයාගේ බලතල ගත් විට අනෙකුත් බොහෝ පනත් වල මෙන්ම ඒ ඒ පනත්වල විෂය පථය අනුව විෂය භාර අමාත්‍යවරයා සතුව ඇති බලතල හා වගකීම්  ම ආරක්ෂක අමාත්‍යවරයාට පවරා ඇත. කොතලාවල කෙටුම්පතේ 6 වන වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති බලතල සහ වගකීම් මෙසේ ය, 


1. අමාත්‍යවරයා මේ පනතේ සාමාන්‍ය විධාන සහ පරිපාලනය සම්බන්ධයෙන් වගකිව යුතුය. (මේ ආකාරයටම 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 19 වන වගන්තිය, තාක්ෂණික විශ්වවිද්‍යාල පනතේ 6 වන වගන්තිය හා සාගර විශ්වවිද්‍යාල පනතේ 6 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට වගකීම් පවරා ඇත.)


2. අමාත්‍යවරයා විසින් කලින් කලට විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය වෙත ලිඛිත විධාන නිකුත් කල හැක. (මේ ආකාරයටම 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ  20(අ) වන වගන්තිය, සාගර විශ්වවිද්‍යාල පනතේ 6 (2) 1 උපවගන්තිය හා තාක්ෂණික විශ්වවිද්‍යාල පනතේ 6 (2) 1 උපවගන්තිය   යටතේ අමාත්‍යවරයාට පිළිවෙලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා පාලක මණ්ඩල වලට  ලිඛිත නියෝග ලබා දීමට  බලය පවරා ඇත.) 


ඉහත දෙවන කරුණ ගත් විට විශ්වවිද්‍යාල පනතේ සහ අනෙකුත් බොහෝ පනත්වල මෙන්ම අමාත්‍යවරයාට ලිඛිත නියෝග ලබා දීමේදී එය නිකුත් කිරීමට ප්‍රථම මාස තුනකට පෙර පාර්ලිමේන්තුවේ සභාගත කල යුතුය. තවද කෙටුම්පතේ 50 (3) උපවගන්තිය ප්‍රකාරව ද පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයක පළ කිරීමෙන් පසු හැකි ඉක්මනින් අනුමතය සදහා පාර්ලිමේනතුවට ඉදිරිපත් කල යුතු බවත් එසේ අනුමත නොකරන ලද යම් නියෝගයක් එදින පටන් පරිච්ඡින්න හෙවත් බැහැර කරනු ලැබූ ලෙස සැලකිය යුතු බවයි. ඒ අනුව ඉතා පැහැදිලිව මෙම කොතලාවල කෙටුම්පත යටතේ ද මේ ලෙස අමාත්‍යවරයාට නියෝග සෑදීමේ බලය අසීමිතව භාවිතා කිරීමට ඉඩක් සලසා නොමැත. 


කොතලාවල කෙටුම්පතේ 7 වන වගන්තිය ප්‍රකාරව, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ, සාගර විශ්වවිද්‍යාල පනතේ, තාක්ෂණික විශ්වවිද්‍යාල පනතේ, භික්ෂු විශ්වවිද්‍යාල පනතේ සහ අනෙකුත් බොහෝ පනත්වල මෙන්ම මෙහිදී විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව නැතහොත් එම තත්වය මගින් විශ්වවිද්‍යාලයේ නිසි ක්‍රියාකාරිත්වය බිද වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, එම තත්වය පාලනය කිරීම සදහා අවශ්‍ය යැයි සලකන සියලු පියවර ගන්නා ලෙස පාලක මණ්ඩලයට විධාන කරනු ලැබිය හැක. (මෙම බලතලය මේ ආකාරයටම විශ්වවිද්‍යාල පනතේ 20 (3) උපවගන්තිය, සාගර විශ්වවිද්‍යාල හා තාක්ෂණික විශ්වවිද්‍යාල පනත්වල 7 වන වගන්තීන් යටතේ අමාත්‍යවරයාට පවරා ඇත.) 


පාලක මණ්ඩලය


නව කෙටුම්පතේ 18වන වගන්තිය ප්‍රකාරව පහත සදහන් සාමාජිකයන් එහි ඇතුලත් කර ඇත. 


01) ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම්වරයා

02) ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේඛම්වරයා

03) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා

04) ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන් තිදෙනා

05) උපකුලපතිවරයා 

06) භාණ්ඩාගායේ ලේඛම්වරයා විසින් නම් කරනු ලබන භාණ්ඩාගාරයේ අනුයෝජිතයෙකු

07) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නාමිකයෙකු


මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ ආරක්ෂක ලේඛම්වරයා වේ. විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා මණ්ඩලයේ ලේඛම්වරයා ලෙස කටයුතු කරයි. ඒ අනුව මෙම මණ්ඩලයද සකස් වී ඇත්තේ සිවිල් හා හමුදා යන කාණ්ඩයන් දෙකම සමානව නියෝජනය වන පරිදි ඉතාමත් සාධාරණ ලෙසය. මෙමගින් සිවිල් සමාජය හා හමුදාව අතර පවතින සංහිදියාව තවත් වර්ධනය වීමක් හා දෙපාර්ශවයේම අදහස් මුසු වී ප්‍රතිපෝෂණය වීමක් සිදුවේ. 


තවද කෙටුම්පත 19 (3) වගන්තිය ප්‍රකාරව අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙන්ම පාලක මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටු 11ක් මගින් විශ්වවිද්‍යාලය තවදුරටත් නියාමනය කිරීමක් සිදුවේ. 


තවදුරටත් කෙටුම්පතේ 43 වන වගන්තිය ප්‍රකාරව ඉහත සදහන් අධිකාරියක සාමාජිකයකු වීමට අදාල නුසුදුසුකම් සදහන් කර එමගින්ද ජාතික ආරක්ෂාව තහවුරු කර ඇත. 


එසේම යුදමය තත්වයක් නැවත ඇති වේ යැයි යන සාධාරණ සැකය සැලකිල්ලට ගෙන කෙටුම්පතේ 47 වන වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාලයේ යම් නිලධාරයෙකු, කාර්‍ය මණඩලයේ සාමාජිකයෙකු හෝ ශිෂ්‍යයෙකු හැර යම් තැනැත්තකු විශ්වවිද්‍යාලය තුලට ඇතුලත් වූ විට හිතකර නොවන පුද්ගලයෙක් ලෙස ඒත්තු ගියොතින් ඔහුට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් පළමුව ලබා දී සෑහීමකට පත් විය නොහැකිනම් උපකුලපතිවරයා හෝ ඔහු විසින් ලිඛිතව බලය පැවරූ නිලධාරිවරයෙකුට එම තැනැත්තාට ඇතුලුවීම හෝ රැදී සිටීම තහනම් කල හැකිය. එමගින්ද අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙන්ම ජාතික ආරක්ෂාව තර කිරීමට පියවර ලබා ගෙන ඇත. 


අවසාන වශයෙන් ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී පෙනී යන්නේ මෙම නව කොතලාවල කෙටුම්පත මගින්,  


◾1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතට ඉතාමත් සමාන ලෙස එහි ඇති වගන්‍ති අනුගමනය කරමින්, 


◾සාගර විශ්වවිද්‍යාල, තාක්ෂණික විශ්වවිද්‍යාල හා භික්ෂු විශ්වවිද්‍යාල  පනත් වලට සමාන, 


◾කලින් පැවති 1981 පනතම තවදුරටත් වර්ථමානයට මෙන්ම අනාගතයට ගැලපෙන පරිදි වෙනස් කොට, 


◾ඉතාමත් සාධාරණ ලෙස විනිවිදභාවයකින් යුක්තව බලතල සහ වගකීම් පවරා ඇති, 


◾නිලතලයන් එකිනෙකට එකක් වග විය යුතු, 


◾තනි තීරණ ලබා ගැනීමට නොහැකි, 


◾හමුදාව සහ සිවිල් සමාජය අතර සංහිඳියාව දියුණු කරමින්,


◾ජ්‍රජාතන්ත්‍රවාදය, ජාතික ප්‍රතිපත්ති හා ජාතික ආරක්ෂාව ආරක්ෂා කරමින්, 


◾නැවත යුදමය වාතාවරණයක් රටේ ඇතිවූවොත් එයට ත්‍රිවිධ හමුදාව සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ සූදානම් කරවමින්,


ශ්‍රී ලංකාවේ සිසුන්ගේ උසස් අධ්‍යාපනයට හා ඔවුන්ගේ වැඩිහිටි ජීවිතයට අරුතක් එක් කරමින් රටට වැඩදායක විනය ගරුක මනුෂ්‍යත්වය හදුනන ප්‍රමිතිගත උපාධිධාරීන් බිහිකිරීමේ ක්‍රියාවලියකට මං මාවත් විවර කිරීමකි. 


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල යනු අධ්‍යාපනය "මිලිටරීකරණය" වෙනුවට මිලිටරිය සහ සිවිල් සමාජය  "අධ්‍යාපනික" කිරීමකි. ශ්‍රී ලංකාවේ කාලාන්තරයක් තිස්සේ පාසල් පද්ධතිය තුල "කැඩට් පාසල්" "ආමි බෑන්ඩ්" "නේවි බෑන්ඩ්" හා "ගුවන් හමුදා බෑන්ඩ්" යන සංකල්ප පැවතුනද පාසල් මිලිටරීකරණයක් සිදුවී ඇත්ද? දූපත් මානසිකත්වයෙන් මිදී දේශපාලන මතයන් මදකට පැත්තකට දමා විවෘත මනසකින් සිතන ලෙසට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරමි. 


✍️ ThirdEYE ✌️🙂#StandforKDU