"රැඩිකල් මි .... ඒ ගැන ආඩම්බර වෙමි"

මම දවසක් මොකක් හරි වැඩක් කරද්දී හම්බුනු පිරිමියෙක් මගෙන් ඇහුවා බොහොම සවුත්තු හිනාවක් දාල "ඔයත් ඔය රැඩිකල් ස්ත්‍රී වාදිනියක්ද? " කියල. මමත් හිනාවෙලා උත්තර දුන්නා " ඔවු " කියල ආඩම්බරෙන්.

ඔවු මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රැඩිකල් . වචනයේ අර්ථයෙන්ම ෆෙමිනිස්ට්. ඒ ගැන ආඩම්බරයි මම ගොඩක්ම. මුලින්ම මම කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව මේවගේ තේරුම් දෙන්නම්. යට පින්තූරේ සම්පූර්ණ නිර්වචනය දෙනවා. සාමන්‍ය අර්ථය ලියන්නම්.

"රැඩිකල් කියන්නේ සමාජයේ හෝ දේශපාලන පරිසරයේ වෙනසක් අපේක්ෂා කරන කෙනා. ෆෙමිනිස්ට් කියන්නේ කාන්තාවන්ට ලෝකයේ සමාන අවස්ථා හිමි කර දිය යුතුයි කියන මතය දරන කෙනෙක්. ඔවු මම සමාජ සහ දේශපාලන පරිසරයේ වෙනසක් අපේක්ෂා කරන කාන්තාවන්ට සමාන අවස්ථා ලැබිය යුතු බව හිතන කෙනෙක්."

මම මගේ මතය වෙනුවෙන් සටන් කරනවා.... අවි වලින් නෙවේ අකුරු වලින්. මොකද මට ඕනේ මගේ දුවට මීට වඩා හොඳ ලෝකයක් හදන්න. හරි සරලයි.


මට ඕනේ මගේ දුව එයාට ඕනෙම විදිහක වුර්තියක යෙදෙන්න එයාගේ ලිංගය බාධාවක් නොවෙන්න.


මට ඕනේ එයාට පාරට බහිද්දී කු..... හරප ඇහෙන්නේ නැතුව එලියට බහින්න ගෞරවාන්විත පරිසරයක් හදන්න.


මට ඕනේ මගේ දුව ඕනේ වෙලාවක එලියට බහින්න තරම් මේ රට ආරක්‍ෂිත වෙන්න. ගෞරවනීය වෙන්න.


මට ඕනේ එයාගේ හීන වලට යන්න එයාගේ ස්ත්‍රීත්වය කොහෙත්ම බාධාවක් නොවෙන්න.


ඒ එක්කම එයාට ගෞරවය නොලබන තැනක් වෙත්නම් ඔලුව කෙලින් කරගෙන එලියට බහින්න ආර්ථිකය බාධාවක් නොවෙන්න ඕනේ.


වුර්තියෙන් ඉහළට යනවා නම් ගැහැණියකට ගෘහ ජීවිතේ කියන්නේ මේ රටේ දී ලොකු බාධාවක්. මොකද පිරිමියා ගෘහයේ කටයුතු කිරීම මදිකමක් ලෙස සලකන සමාජ පරිසරයක් තියෙන්නේ. බිරිඳ රස්සාවක් කරනවා නම් ගෙදර වැඩ සහ දරුවන්ගේ කටයුතු තනියම කරන්න ඕනේ කියන සමාජ මතයක් තිබෙනවා. ඉතින් ගොඩක් ගැහැණු entry level එකේදී උඩින් හිටියට C level එකට එද්දී සීමාසහිත වෙනවා. මේ පසුබිම මීට වඩා පැහැදිලිවම වෙනස් වෙන්න ඕනේ.


ගෑනු ආර්ථිකව ස්වාධීන නොවුණු පසුබිම් මම දැකල තියනවා. මගේ ගම අනුරාධපුරය. අවුරුදු 17 දී විසර ගෙඩියක් ඇවිත් සැත්කමක් කරන්න මම රෝහලේ නතර වෙනවා. විශ්වාස කරන්න එදා රෑ කාන්තාවන් තුන් දෙනෙක් ගේනවා සැමියා බීගෙන ඇවිත් .... හල තුවාල වෙලා.


එක්කෙනක් ඔලුව ...ලිලා කතා කරන්න බැහැ. ( හිස්තැන් දැම්මේ සකබර්ග්ට බයේ හොඳේ. නැත්නම් උන්දා මාව බ්ලොක් කරනවා 😁😁😁😁)

අනික් කෙනාගේ ......අත .....වාල කරලා.

ඊළඟ අම්ම කෙඳිරි ගගා .....ටිලා හිටියා.

මම කොර ගහ ගහ තුන් දෙනාගේම ඇඳවල් වලට ගියා. කතා කරා. එදා මගේ යමක් ඇතුලතින් වෙනස් වුණා.


මට අවුරුදු 17 වුනාට එදා තමා මගේ හදවතේ හිටපු ස්ත්‍රී වාදිනිය අවධි වුනේ. මම දැක්ක මගේ තාත්තා රැකියාවක් කරා, ළමයි හෝඳනවා, නාවනවා, බත් කවනවා, ගෙදර රෙදි හෝදනවා, උයල නෝනට බත් එක බැඳලා දෙනවා, නෝනගේ ඇඳුම් මදිනවා . මම දැක්ක අම්මත් එහෙමයි හැම දේම කරනවා , රස්සාවකුත් කරලා සල්ලිත් ගේනවා. ඉතින් මම දකින පවුල් පරිසරේට වඩා වෙනස් සමාජ පසුබිමක් තියෙන්නේ මේ රටේ කියල . ඒ වගේම මම පිරිමියෙක් එක්ක විවාහ වෙද්දී හොඳට බැලුවා එයා මොන වගේ අදහස් දරන කෙනෙක්ද කියල.


මට හොඳට උයන්න පුළුවන්. ඒ වුනාට තරුණ කාලේ කොල්ලෙක් කතාවට බහට එනවා නම් මම පරිස්සමෙන් හිටියේ. "ඔයාට උයන්න පුලුවන්ද?" කියල ඇහුවොත් මම එදාම ඒ පිරිමියා කපලම දැම්මා. ඒ මට උයන්න බැරි නිසා නෙවේ. උයන එක ගෑනු / පිරිමි හැමෝම ඉගෙන ගන්න ඕනේ ලයිෆ් ස්කිල් එකක්. නමුත් උයන එක ගෑනිගේ ශක්‍යතාවය කියල මනින පිරිමික් එක්ක යනවට වඩා මට නම් තනිකඩව ඉන්න එක සනීප නිසා. මම හෙවුවේ මගේ තාත්තා වගේ පිරිමියෙක්. නෝනගේ ඇඳුම් ගලවන එක විතරක් නෙවේ හෝදන එකත් පිරිමිකම කියල දැක්ක පිරිමියෙක්.


මම රැඩිකල් වුනා කියල ෆෙමිනිස්ට් වුනා කියල මගේ පවුල කැඩිලා නැහැ. මගේ සැමියා එක්ක අද වෙද්දී වසර අටක් කොලේ ලියලත්, හරි ආදරෙන් සතුටින් ඉන්නවා. එකම දේ අපි දෙන්නම අපේ මනුෂ්‍යත්වයට ගරු කරනවා. එයා මගේ නිදහසට ආදරෙයි. මම එයාගේ නිදහසට ආදරෙයි. මම රැඩිකල් වුනා කියල හරි ෆෙමිනිස්ට් වුනා කියල හරි මගේ ජීවිතේට වාසියක් මිස හානියක් වෙලා නැහැ.


මගේ දුවලා දකින්නෙත් මාව. මගේ පුතාල දකින්නෙත් මාව. ඒ ගොල්ල දෙගොල්ලම මට පුත්‍ර වෙනවා. සමාන වෙනවා. දෙගොල්ලම මම හදන්නේ මනුස්සයෝ විදිහට. සමාන නිදහසකින්.


සටහන අවසන් කරන්න මම ලෝක ඉතිහාසයේ ගැහැණු අපි අද වෙද්දී ආව අඳුරු ගමන ගැන සටහන් කරන්නම්.


මෙන්න මේ ගර්හිත රැඩිකල් ෆෙමිනිස්ට්ලා ටික නොවෙන්න අද වෙද්දී අපි කොතනද කියන්න කවුරුත් දන්නේ නැහැ. ලෙයින් ,කඳුලින්, ජීවිතෙන් වන්දි ගෙවලා ඔවුන් ආව මාවත තමා මේ අද අපි වෙද්දී එලි වෙලා තියෙන්නේ.


තමන්ට පැවිදි වෙන්න ඉඩ නොදෙද්දී ගෝතමී කියල රැජිනක් ලේලිලා 500 කුත් එක්කගෙන කසාවත් ඇඳගෙන හිස මුඩු කරගෙන කිම්බුල්වතේ ඉඳල මගධයට මහා දුරක් පයින් ගියා.

"මම රැජිනක් , හැදිච්ච ගෑනුන්ට මොන මහනකම්ද?" කියල නියම සාම්ප්‍රධායික ගැහැනියක් වගේ ඇය මාලිගේ හිර වෙලා හිටියා නම් ...කවදාවත් ස්ත්‍රියට පැවිද්දක් ලැබුනේ නැහැ. 

මම දැක්ක පළවෙනිම ෆෙමිනිස්ට් වාදිනිය තමා සිදුහත් කුමාරයාගේ අම්මා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය. ඇය ඒ පාගමන කරේ සමතැන ඉල්ලලා තමයි.

විහාර මහා දෙවි කියල ප්‍රාදේශීය රජෙක්ට බිසවක් හිටියා. ඇය නොවෙන්න අද වෙද්දී ලංකාව සොලී දේශයක් වෙලා. ඇය තමා එළාර රජතුමාට විරුද්ධ මහා සටනේ chief strategist වුනේ. හැම මහා සටන් බිමකටම පුතා අරන් ගියා. අන්න ඒ තමා සැබෑ ෆෙමිනිස්ට් ලා. "අනේ පුතේ බුදු දහමට මොනා වුනාම මොකෝ?.. අපි ඩීසන්ට් විදිහට ගෙට වෙලා හෙමින් මාගම් පුරේ කරගෙන ඉමු " කියල මුලුගැන්වුනා නම් එතුමිය, එදා එහෙනම් එළාර රජතුමා බුදු දහම විනාස කරලා... බෝධීන් වහන්සේ කපල ..මේ වෙද්දී මෙරටේ පරිසරය සහමුලින්ම වෙනස් වෙන්න තිබුණා.


ග්‍රීක මහා දාර්ශනිකාවිය හයිපේෂියා ඝා....නය වෙන්නේ පාරේ ඇදගෙන ගිහින්. ඇය කළ වරද තමා තාරකා විද්‍යාඥ වරියක් වීම. ඇගේ ඇඟේ ලේ බින්දුවක් ගානේ හලපු එක අද අපි විදින වුර්තීය නිදහසට හේතු නොවුනා කියන්න කාටවත් පුලුවන්ද?


රෝසා පාර්ක් කියල ගැහැනියක් ඇමරිකාවේ දවසක සුදු ජාතිකයෙක්ට බසයේ අසුනක් නොදී ඉන්න තීරණය කරනවා. එතනින් තමා වහලුන්ට නිදහස ලැබෙන සටන පටන් ගන්නේ. එදා "අනේ මම කාන්තාවක් . ඒ නිසා මට මොන සම තැනද ?" ඔන්න ඔහේ සීට් එක දෙනවා කියල නැගිට්ටා නම් අදටත් ඇමරිකාව වහල්ලු ඉන්න දේශයක්. මුළු ජාතියකටම නිදහස දෙන්න ඒ වීර ගැහැණිය හේතු වුණා.


අපි දැන් ගිහින් ලොක්කෝ වගේ චන්දෙ දානවනේ. පුරවැසියෙක් ලෙස චන්දෙ දාන්න පරමාධිපත්‍යය ලබන්න ගෑනු ශතවර්ෂ ගණනාවක් පුදුම අරගලයක් කරා. ඒ ගෑනුන්ට මල් තියලා වඳින්න ඕනේ. නැත්නම් අදටත් අපිට චන්ද බලයක් නැති පිරිසක් හැටියට සැලකෙනවා. මේ අරගලයේදී එක වරක activist කෙනෙක් තුරඟ තරගයකදී සිය දි... න.... ගත්තා.


මේ වගේ උදාහරණ දාහක් හරි මට ලියන්න පුළුවන්. ගැහැණු අපි අද ඉන්න තැනට ආවේ මේ වගේ කැප කිරීම් රැසක් මැදින්. අද වෙද්දී සංවර්ධිත රටවල සොයුරියෝ දන්නවා සමාජ සහ දේශපාලන පරිසරය ඒ රටවල ගැහැණුන්ට ගොඩක් හිතකරයි. නමුත් අපේ රටේ තව වෙනස් විය යුතු දේවල් තිබෙනවා. ඒ ටිකත් වෙනස් වෙනකම් මම ලියනවා.


අපි ගෑනු වෙලා ඉපදුනු එකේ අපේ දුවලට මේ ලෝකේ වඩා ලස්සන තැනක් කරන්න මහන්සි වෙමු. එයාල ගු... කාල රෝහල් ගත නොවෙන , තමන්ගේ උපාධි කොලේ විසික් කරලා හීන මුල්ලක දාල ගෙදර වැඩ විතරක් කරන කෙනෙක් නොවෙන, එකම සේවයට දෙවිදිහක වැටුප් නොලබන අනාගතයක් දකිමු.


හැම කාන්තාවක්ම උදාරයි........ අපි එකිනෙකාට ගරු කරමු. ආදරය කරමු.

Reshika Dissanayake Godakanda