හිට්ලර්ගෙ නාසී සිරකදවුරෙන් පැන ආ දරුවෙකුගේ දින පොතෙහි තිබූ එක් පිටුවක කොටසක් මා මෙසේ උපුටා ගනිමි,........
“ආදරණීය ගුරුතුමනි මම නාසී කදවුරකින් මිදී පළා ආවෙක්මි.........
බොහෝ මිනිසුන් විසින් නොදුටු නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි......
උගත් ඉංජිනේරුවන් විසින් ගෑස්කුටි තනන අයුරු ,....
දක්ෂ වෛද්‍යවරුන් විසින් විෂ එන්නත්කරණ අයුරු……
පුහුණුවලත් හෙදියන් විසින් ළදරුවන් මරා දමන අයුරු……
උපාධිදරයන් විසින් ගැහැණුන් හා ළමයින් මරා පුලුස්සන අයුරු……
මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි..........
මගේ ඉල්ලීම ගුරුවරුන් කියා දිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන්වන අයුරු යන්නයි.......
ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන් දක්ෂ යක්ෂයන් දායාද කල යුතු නැත…….
කියවීම ලිවීම ගණිතය ඉතිහාසය වැදගත් වන්නේ
ඉන් අපේ අනාගත පරපුරට වඩා මානව හිතවාදින්වන්නට කියා දෙන්නේනම් පමණි….”

මා මෙය කියවන විට මට සිතුනේ හිට්ලර්ගේ සමයේ පමණක් නොව සැබෑවටම වත්මන් අප සමාජයේද මෙවැනි යක්ෂයන් අමනුෂ්‍යයන් සිටිනා බවයි.අද නම් අප සියලු දෙනා අපගේ ගුරුවරුන්ට පමණක් නොව වත්මන් අධ්‍යාපන ක්‍රමය හොබවන සියලු දෙනා හට ලිපියක් යැවිය යුතුයි.

ලාබාල දැරිවියන් කෙලෙසා දමන වෛද්‍යවරුන් දේශපාලන නායකයින් වැනි උගත් අමනුෂ්‍යයන් වෙනුවට මනුශයත්වය හඳුනන එක් මිනිසෙකු සමාජයට දායාද කරන්නේනම් ඔහු යාචකයෙකු වුවද කම් නැතයි මම සිතමි.මන්ද මුදලට හා බලයට යට වී තම උගත්කම,මිනිස්කම විකුණන ඈයන්ට වඩා යාචකයා ඉදිරියෙන් සිටින නිසා වෙනි.සිතන්න අසාධාරණයෙන් සොයනා ඩොලරයට වඩා සාධාරණ රුපියල නොවටීද?

අධ්‍යාපනයේ තරඟයක් අපට අවැසි නැත.තිබිය යුත්තේ තමා තමා සමඟ ස්වයං තක්සේරුවක් පමණි.යමෙකු ඔබට වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වීමට උපදෙස් දෙයිද?මදක් නැවතී සිතන්න ඔබට ඇත්තෙන්ම එය අවශ්‍යද?ඔබට අවශ්‍ය කුමක්ද?ඔබ සැබවින්ම කවුරුන්ද කියා, ඔබ තෘප්තිමත් වන්නේ ඔබට කුමක් ලැබුනොත්ද කියා ඔබම තීරණය කරන්න.එවිට හෘද සාක්ෂියට එකඟව ඔබට ජීවත්විය හැකිදේ තෝරාගන්න.ඔබේ ජීවිතයේ නිර්මාතෘද ඔබමය,විනාශකරුද ඔබමය.මෙයින් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් වීම හොඳනැතැයි නොකියමි.ඔවුන් සැබෑවටම සිටිය යුතුය.ඔවුන් බොහෝ දෙනා සමාජෙට අවැසිය.මා මේ කතා කරන්නේ හුදෙක් සමාජයට පිළිලයක් වී ඇති ඇතම් උගත් අමනුශ්‍යයන් පිළිබඳවයි.

උගත්යැයි ලේබල් ගැසූ පමණින් සැබෑ උගතෙකු විය නොහැක.මිනිස්කම,නැණ ගුණ අත්දැකීම් යන මේ සියල්ලගේම එකතුවකි සැබෑ උගත්කම.වත්මන් අධ්‍යාපන ක්‍රමය ලබා දෙන්නේ නැණ පමණකි.සමාජය යනු මිනිසාගෙන් සමන්විත පුළුල් සන්දර්භයකි.එහි ජීවත්වීම ලේසි කාර්යක් නොවේ.ඒ සඳහා නැණ පමණක් තිබිම කිසිසේත් ප්‍රමාණවත් නොවේ.ඔවුන් බල්බයක් වටා එක් රොක් වන මෙරු රැලක් සේ ඉක්මනින් විනාශ වී යනු ඇත.රැදෙන්නේ සැබෑ මිනිස්කම පිරි මිනිසුන් පමණි.ඒ අතලොස්ස අතරට ඔබ එක්වනවාදැයි අද ඔබ තීරණය කරන්න.

100%ක් සමාජය වෙනස්කල නොහැක.හැකි වන්නේ මිනිසෙකු ලෙස තනිව වෙනස් වීමයි.එවිට නොදැනුවත්වම සමාජය,රට වෙනස් වේ.අපට සමාජය වෙනස් කිරීමට 100%ක් නොහැකි වුවද යම් උත්සාහයක් දැරිය හැක.අතීතයේ එසේ උත්සාහ දැරූ මිනිසුන් පිළිබඳව අද අප කතා කරයි.අනාගතය අප ගැන කතා කිරීමටනම් අප අද ඒ උත්සාහය දැරිය යුතුය.

“අපට වැරදුනා- අපට වැරදුනා”යනුවෙන් කෑගැසුවාට ඵලක් නැත.විය යුත්තේ වැරදුනේ කොතනද එය සොයා නිවැරදි කිරීමයි.නැවත වරදක් සිදු නොවීමට වඟ බලා ගැනීමයි.
උගත් අමනුශ්‍යයන් නොව උගත් මනුශ්‍යයන්ද දක්ෂ යක්ෂයින් නොව දක්ෂ දෙවිවරුන්ද බිහි කිරීමට අපගේ අධ්‍යාපන ක්‍රමයට හැකි විය යුතුය.
කියාදෙන්න,ඔබේ දරුවාට “අධ්‍යාපනය සමඟ ජීවිතය “
හදන්න, ඔබේ දරුවාව “ඔහුගේම හෘද සාක්ෂිය ඔහුට ගරු කරනා ලෙසට”

“මේ යහපත් සමාජයක් උදෙසා මගේ හඬයි............
මම ශෂිකලා කාවින්දි