පශ්චාත් දඩයම් යුගයෙන් සදාචාරාත්මක වටපිටාවක් දක්වා ශිශ්ටාචාරයක් ගොඩ නගාගත් මානවයා ස්වකීය බුද්දියේ නිම්වලළු පුලුල් කර ගනිමින් ශරීර ශක්‍යතාවන් පරයා නැගෙන යන්ත්‍ර සූත්‍ර නිපදවන ලදී. ශතවර්ශ ගනනාවක් අඛණ්ඩව පැවතීගෙන ආ මෙකී ක්‍රියවලියේ සාධනීය ලක්ශ්‍යය, 15-16 සියවසයේ යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයයි. එමෙන්ම සමකාලීන පුනරුදය ඔස්සේ යුරෝපාකරනයේ සිදුවූ මානව චින්තනයේ විපර්‍යාසයන් මෙකී ක්‍රියාවලියට බද්ධ වීම තුලින් දේශ ගවේෂණය කෙරෙහි මිනිසා පෙලඹුනි.එකී ක්‍රියවලියේ අවසන් ප්‍රතිපලය වූයේ යටත් විජිතකරණය වීමයි. ඒ තුලින් පෙරදිග රටවල බොහොමයක සිදුවූ සංස්කෘතික සෝදාපාලුවේ නශ්ටාවශේෂ අද ද දක්නට ලැබේ.


වසර 2500 කටත් වඩා පැරැණි දියුණු ශිශ්ටාචාරයකට උරුමකම් කියන අප මාතෘ භූමිය පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර දිවයිනකි. සියවස් 5කට ආසන්න කාලයක් තිස්සේ සිදුවූ යටත් විජිතවාදී බලපෑම් වලින් ඊට වැදුනු මරු පහර ඉතා බිහිසුණුය.මෙකී හේතූන් නිසා අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය නමින් හැදින්වූ අප මව්බිම යැපුම්වාදී මානසිකත්වයක් කරපින්නාගෙන බටහිරකරණය  අන්ධානුකරණයෙන් වැළදගෙන සිටිති.


නවීන තාක්ෂණයේ දියුණුවත් සමග මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත.මෙයින් මිදීමද ප්‍රායෝගික වශයෙන් අසීරු කරුණකි.එමෙන්ම ඕනෑම රටක් සංවර්ධනය කරා යන ගමනේදී කාලානුරූපීව වෙනස්කම් සිදු කිරීමටත් ඊට සමගාමීව තාක්ෂණය හා විද්‍යාව අනුබද්ධ කිරීමත් ඉමහත් වැදගත්ය. නමුත් එකී සාධකයන්ම මිනිසා හා ස්වභාවධර්මය පරදවමින් දේශයේ තිරසාර පැවැත්මට කරන අභියෝගයට මුළු මහත් මානව සංහතියම නතු වී ඇති බව කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතුය.


මෙකී හේතූන් මැද අපගෙන් ගිලිහී යන සංස්කෘතික හර පද්ධතින්ගේ වටිනාකම් ගැන බිදක්වත් අවධානය යොමු කිරීම ඉතාමත් කාලෝචිත වේ. අතිශයින්ම තරගකාරී වූ වත්මන් සමාජය තුළ අසීමිත යාන්ත්‍රීකරණය වූ නූතන ශ්‍රී ලාංකිකයන් අතීත උරුම වූ සහයෝගය,සදාචාරය,සාමුහිකත්වය හා නායකත්වය වැනි ගුණාංග නවීන විද්‍යාව ඉදිරියේ ශේෂ වී නොමැත.එහෙත් එය 100% නිවැරැදි නැත.


බටහිර ආගමනය සමග තවත් ඛේදනීය ඉරණමකට මුහුණ පෑවේ කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවයි.මේ හරහා විස්තෘත පවුලේ සිට න්‍යෂ්ටික පවුල දක්වා සංකෝචනය වීමක් සිදු විය .මේ හේතු මත විස්තෘත පවුලේ අත්මුල වන වැඩිහිටියන් මහලු මඩම්වලට සීමාවන තැනට කරුණු සැලසුනි. මමත්වය අගයන සමාජ රටාවක් බිහිවීමටද මෙය හේතු සාධක සපයන ලදී.

ගෝලීයකරණය තුළ විශ්වයම ඇතැඹුලක් සේ දැන පරිගණක තිරයක් ඉදිරියේ හුදෙකලාවන වත්මන් සමාජ පරපුර දේශීය අනන්‍යතාව කෙරෙහි නිතැතින්ම බැහැර වන තත්ත්වයක් උදාවී තිබේ. සීමිත සම්පත් වලින් අසීමිත වූ මිනිස් වුවමනා  සපුරා ගනිමිනි සොබාදහමට අනුගත නොවී කටයුතු කරන අවස්ථාවන් ද අසීමිතය. තාවකාලිකව සංවර්ධන ඉලක්කයන් කරා මානවයා මේ යන ගමනේ රුදුරු ප්‍රතිවිපාකයන් නුදුරු අනාගතයේදීම  අත්විඳින්නට සිදුවනු ඇත.


-SaSa❤️-