අත අරින්න හේතු දහසක් තියෙද්දී රැඳෙන්න එකම එක හේතුවක් ඇති ද  ?😶❤️🙄


මේක තමා ගොඩක් අය සිදු කරන්නා වූ theory එක..😣


ආසියාතික මිනිස්සු ආදරේ කියල කියන්නෙ හිර වීමකට , එහෙමත් නැත්තම් කොටු  වීමකට , කෙටියෙන්ම කිව්වොත් හොටු පෙර පෙර අඬ අඬ හැමදේම  දරා ගැනීමට ,


වර්තමානයේ බොහෝ පෙම්කතා  තනිකරම දණ්ඩ නීති සංග්‍රහයක් , තමන් කැමති ඇඳුම අඳින්න බැහැ , කැමති තැනක යන්න බැහැ , එකිනෙකාගෙ සිතුවිලිවලට හැඟීම් වලට ගරු කිරීමක් නැහැ , කොටින්ම ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා දෙන්නා එකිනෙකාව රාමුවක හිර කරලා පාලනය කරනවා , මොන දේ උනත් එයා මට ආදරෙයිනෙ , මේ හැමදේම කියන්නෙ ආදරේටනේ කියලා අනිත් කෙනා වෙනුවෙන් තමන්ව කැප කරලා රූකඩයක් වෙලා නැටවෙනවා , ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම මේක වෙනවා .

සමහරු නම් මේ රාමුවට කොටු නොවී දෙදෙනා පිලිබද අවබෝධයෙන් ජීවිතෙ පිලිබද ගැඹුරින් යුතුව කටයුතු කරනවා.


එයා මම ඩාන්සින් කරනවට කැමති නැහැ , ඉතින් මම ඩාන්සින් කරන එක නැවැත්තුවා , මම රස්සාවක් කරන්න මාර ආසයි ඒත් එයා එපා කියපු නිසා ගෙදර නැවතුණා , එයා කතා කරන වෙලාවක මොබයිල් එක එන්ගේජ් වෙලා තිබ්බොත් එයාට යකා නගිනවා ඊට පස්සේ දවස් ගානක් රණ්ඩු වෙනවා , කොටින්ම  මම ස්ලීව්ලස් ඇඳුමක් අඳිනවටවත් අයියා කැමති නැහැ , ෆේස් බුක් , ඉන්ස්ට්‍රා ඕවා ට මම කොච්චර ආස උනත් එයා කියන්නේ ගෑණු ළමයි ඕවා කරන්න ඕනෙ නැහැ කියල, අපි දෙන්නගෙ අදහස් කොච්චර නොගැලපුනත් එයා සුදු නෝනා කියද්දී දැනෙන සතුට..අම්මෝ  මොනව නැතත් ඒ මදෑ ..... 

ඔන්න ඕකලු ප්‍රේමය...😔

 

තමන්ට තමන්වත් නැති කරගෙන වෙන කෙනෙක්ගෙ හදවතක ඉඩ හොයන ඔහොම කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඕන තරම්  ඉන්නවා .🤦‍♀️


මේ ලෝකේ 100% සර්ව සම්පූර්ණ ගැලපීම් සහිත සම්බන්ධතා නැහැ කියලා උපකල්පනය කරමු.සමහර අවස්ථාවලදී 100% සම්පුර්ණ ගැලපීම් නැතුවමත් නොවේ.


 

ප්‍රේමය කියන්නෙ දැනීමක් , ඒ දැනීම අපිට පහසුවක් වෙන්න ඕන, හැමදේම නොගැළපුනාට කමක් නැහැ , හැබැයි ගැලපෙන ප්‍රමාණය නොගැලපෙන ප්‍රමාණයට වඩා වැඩි වෙන්න ඕනේ.


80 % ගැළපෙන තැනක නොගැළපෙන 20 % කොහොමහරි හිත හදාගෙන කැපකලා කියමුකෝ , ඒත් 20% ගැළපෙන හිතක් වෙනුවෙන් 80% කැපකරනවා කියන්නෙ නම් කරුමයක් , එහෙම කැපකරපු අය සමහරක් නැවතුනේ කනත්තේ , තව සමහරක් අංගොඩ ඉස්පිරිතාලේ , ඉතුරු ටිකෙන් භාගයක් බාර් වල ඉද්දී අනිත් අය හදවතින්  අපායේ ,


කව්රු මොනවා කිව්වත් තමන්  වැඩියෙන්ම ආදරේ තමන්ට , දරුවො ,බිරිඳ ,සැමියා ,පෙම්වතා මේ හැමෝම ඉන්නෙ තමන්ට පස්සෙන් , 

ඉතින් ප්‍රේමය  වෙනුවෙන් තමන්ව  නැති කරගැනීම තේරුමක් තියනවද ?


ඇත්ත , ප්‍රේමය තුල විඳවීම් ඇත , ප්‍රේමය වෙනුවෙන් කැපවීම් කල යුතුව ඇත , ප්‍රේමය තුල දරාගැනීම තිබිය යුතුමය , ප්‍රේමය නිසා ඇසට කඳුළු පිරෙනු ඇත , ප්‍රේමය නිදි වර්ජිතය , ප්‍රේමය වෙනුවෙන් හූල්ලන්නට විය හැක ,


නමුත් විඳවීම් වලට වඩා විඳීම් තියන තැනකදී විඳවූවට කම් නැත , කැපවීමේ අගය  තේරුම් ගත හැකි හිතක් වෙනුවෙන් කැප වුවාට කමක් නැත , තමාව දවසෙම හිනස්සන කෙනෙක් වෙනුවෙන් හැඬුවාට කමක් නැත , තමා වෙනුවෙන් සිහින බලන කෙනෙකු ගැන නිදිවර්ජිතව කල්පනා කලාට කමක් නැත ,දැනෙන්න ආදරේ කරන ආත්මීය ප්‍රේමයක් වෙනුවෙන් නම් කොච්චර හීල්ලුනත් කමක් නැත ,


ප්‍රේමය ගණුදෙනුවක් නෙමෙයි කියන එක ඇත්ත ,


 ඒත් ප්‍රේමය  නැති තැනකට බලෙන් ප්‍රේමය අලවගෙන රැඳෙන්න හේතු හොයන  එක,  මාළු පාන් වල මාළු හොයනවා වගේ වැලි තලපවල වැලි හොයනවා වගේ දෙලොවටම නැති හිස් වැඩක් නෙවෙයි ද?. 


පොඩ්ඩක් ගැළපෙන තැනක අනේ පනේ ගාගෙන කරුම.කාර බැඳීම් වල හිර වෙනවට වඩා ඒ ගැළපෙන පොඩ්ඩත් අමතක කරලා නිදහස් වෙන එක මොන තරම් සැනසීමක්ද  කියලා තේරෙන්නෙ පරක්කු වෙලා, එතකොට පෙරහැර ගිහින්, නැට්ටුවොත්  ගෙදර ගිහිං ඉවරයි. 


ප්‍රේමය සැහැල්ලු විය යුතුය ,ඒ තුල  තමන්ට තමන් වී ජීවත් විය හැකි විය යුතුය , ප්‍රේමය නම් හිරවීම තුල අසීමිත නිදහසක් තිබිය යුතුය , කොටින්ම ප්‍රේමය ඔබට ඔබව ලං කර දිය යුතුය ,


 අතහරින්නට  හේතු දහසක්  තියෙන තැනක,තව දුරටත් රැඳෙන්නෙ හිතෙනවනම් ඉතිං ඔබම තීරණය කරන්න කුමක්ද කරන්නෙ කියලා?😐🌸

"Nothing is true ..everything is permited"

-SaSa❤️-