රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර තොගයක් සම්බන්ධව රේගු ආදායම් අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
තොග වශයෙන් භාණ්ඩ ප්රවාහනය කරන නෞකාවක් මගින් මෙම යූරියා පොහොර තොගය කොළඹ වරායට රැගෙනවිත් ඇති බව රේගුව සඳහන් කරයි.
කොළඹ 08, බාවා පෙදෙසේ පිහිටා තිබෙන පෞද්ගලික සමාගමක් මෙම යූරියා පොහොර තොගය ආනයනය කර තිබෙන බව රේගු පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අදාළ නැවෙන් යූරියා පොහොර මෙට්රික් ටොන් 9795 ක් මෙරටට ආනයනය කර තිබේ.
රසායනික පොහොර ආනයනය ඉකුත් මැයි මස 06 වැනිදා තහනම් කරනු ලැබූ අතර, එම තහනමට අදාළ රෙගුලාසි වලට අනුව මැයි 06 වැනිදා හො මැයි 06 වැනිදායින් පසුව රසායනික පොහොර මෙරටට එවීම සඳහා නැව්ගත කළ නොහැකිය.
ඒ අනුව මෙම පොහොර තොගය නැව්ගත කරන ලද දිනය සම්බන්ධව රේගු අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රේගු මාධ්ය ප්රකාශක, නියෝජ්ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා පැවසීය.
රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී මෙලෙස පොහොර ආනයනය කිරීම පිළිබඳව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ තහනම් කර තිබියදී ඒවා ආනයනය කිරීම කළ නොහැකි බවය.
ඉකුත් අප්රේල් මස 28 වැනිදායින් පසුව ණයවර ලිපි (එල්.සී.) විවෘත කිරීමට අවස්ථාව ලබා නොදුන් බවත්, මීට පෙරදී එල්.සී විවෘත කර මෙරටට ආනයනය කරන ලද මිශ්ර පොහොර මෙට්රික් ටොන් 2500 ක තොගයක් තවමත් නිදහස් නොකර වරායේ තිබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.