“අර බලන්න එහා ගෙදර සුපුන් ශිෂ්‍යත්වෙ හොඳටම පාස් වුණා...සාමාන්‍ය පෙළත් හොඳටම කර ගනියි...”


“ඒකට අපේ ඒකා මූට කොච්චර වියදම්‍ කරත් වැඩක් නෑ....”


“මැටිල්ඩගෙ ලොකු කොල්ලා හැමදාම පංතියෙ පළවෙනියා,මූ දන්නෙ චිත්‍ර ඇඳ ඇඳ ඉන්න විතරයි..ඔවා ඇදල මොකෝ රට පෙරළන්නයැ....”


      මේවා බොහෝ දෙනාට ආගන්තුකනම් නෙමෙයි.මොනවද මේ?මේ තමයි සැසදීම.ඔබ සැබෑවටම කැමතිද මෙසේ කවුරුන් හෝ ඔබව සසඳනවාට.


දෙමව්පියනි ,වැඩිහිටියනි,ඔබේ දරුවා යනු ඔබේ දරුවාම පමණි.ඔහු හෝ ඇය අන් කවරෙකුවත් සේ වන්නේ නැත.


මෙලොව සිය දෙනෙක් ගතහොත් ඒවුන් සිය දෙනා සිය විදියකි.එය වැළැක්විය නොහැක.නිවුන් දරුවන් වුවද සිතන පතන විදියෙන් වෙනස් නොවේද?


එසේ නම් කුමක්ද හේතුව තම දරුවාව ලොව සිටින සෑම දරුවෙකු සමඟ සංසන්දනය කිරීමට. 


“මගේ ඒකාට මේවා බෑ අරව බෑ,ඌ ඉගන ගන්න දන් නෑ”........


වරද දරුවන්ගේද?නැත වරද ඔබේය.ඔබේ දරුවා දන්නා බොහෝ දේ ඇත.නමුත් ඔබ දකින්නේ ඔහුට නොහැකි දේ පමණි‍.ඔබ නොදකින නමුත් ලොවම දකිනා දක්ෂකම් ඔබේ දරුවාට තිබිය හැක.


පිළිගනිමි මම හැමොටම විභාග පාස් කිරීමට නොහැකි බව.හැමෝටම විශ්ව විද්‍යාලයට යාමට,උපාධි ගැනීමට නොහැකි බව.


ඉගනීම යනු විභාග නම්,සමාජයේ බහුතරයක් ඇත්තේ ඉගෙන නොගතවුන් ලෙසයි.මා හට වර්ග කිරීමට සිදු වන්නේ විභාගවලට ඉදිරිපත්වන බහුතරයක් අතරින් පාස් වන්නේ සුලුතරයක් පමණි.


ඒවිට ඔබේ දරුවා මෝඩයෙක්ද?පාස් වුණු හැමේම දක්ෂයින්ද?


සිතන්න මොහොතකට,


එය එසේ නොවේ අම්මේ.....


එය එසේ නොවේ තාත්තේ.....


ඔබේ දරුවා දක්ෂම දරුවා විය හැක.ඔහු ඉගනීමට අදක්ෂයෙකු විය හැක.නමුත් ඔහුට ඊට වඩා ලොව දිනනා දක්ෂතා තිබිය හැකිය.ඒවා අඳුනා ගැනීමේ වගකීම ඇත්තේ ආදරණීය දෙමව්පියනි ඔබටයි.


කිසි විටෙක ඔබේ දරුවාට තවත් කෙනෙකු වීමට අනුබල දෙන්න ඒපා.


ඔහුට කියන්න,ඔබ ඔබම වන්න,ඔබට අවැසි දේ කරන්න,කුමකින්ද ඔබ සතුටු වන්නේ ඒ පාරේ යන්න.අපි ඔබට මඟපෙන්නන්නම්.


ශිෂ්‍යත්වය පාස් නොවුනාට කම් නැත.ඒතැන් සිට ඔහුව මානසිකව ඇඳ නොදමන්න.අත දෙන්න ඔහුට සාමාන්‍ය පෙළ සමත් වෙන්න.සවියක් වෙන්න නිතරම ඔහුට වැටිච්ච තැනින් නැඟිටින්න.පරාජය ආශිර්වාදයක් කරගන්න.


ජයග්‍රහණය කරා හැල්මේ නොව අඩියෙන් අඩිය පියමන් කරන්න.


ඍහුට ළංකර දෙන්න,ඔහුගේ ළමා කාලය....ඔහුගේ සිහින පොදිය.....


ඔබ එය ඉටුකලහොත් කවදා හෝ ඔබට ලැබේවි දකින්නට ලොවම පමණක් ජයගත් පුතෙකු හෝ දුවෙකු නොව ජීවිතයම ජයගත් දුවෙක් හා පුතෙක්.


අසන්න ඔබේ දරුවාගෙන්,  ”මොනවද පුතේ ඔයා කරන්න කැමති”


“මොනවද පුතේ ඇත්තටම ඔයාට ඔනි.”



“කවුරු වෙන්නද ඔයා ඇත්තටම කැමති”


දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ සිහින සෙවීම නිවැරදියි කියා ඔබ තවමත් සිතනවාද?


මා එහි වරදක් කියන්නේ නැත.ලේ කිරි කර පොවා ඇති දැඩිකල දෙමව්පියන්ට තමාගේ දරුවා යම් දිනක මෙසේ විව යුතුයැයි සිතීමේ වරදක් නැත...නමුත්,,,,


එය එසේම විය යුතුද?ඒය වෙනස්කර දරුවාට අවැසි දේ ඔහුට ලබා දෙන්නේ නම් වඩාත් උචිත නොවේද?


ජීවිතය හරියට MCQ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනවා හා සමානයැයි මාගේ අදහසයි.මන්ද,,,,


අපට ඇති පිළිතුරු අතරින් වඩාත්ම උචිත තෝරා ගැනීම හෝ පිළිතුර ඇති අපේ ජිවිතය තුළදී තෝරා නොගතහොත් එහි ප්‍රතිඵලය ඔබ හිතුවාටත් වඩා භයානක විය හැකිය.


ඔබට ඔබේ දරුවා වෙනුවෙන් සැසඳීමක් කිරීමට අයිතිවාසිකමක්ද,අවශ්‍යතාවයක්ද සැබවින්ම නැත.


ඔහු ඔහුම මිස තවකෙකු නොවේ.ඒසේ වීමටද නොහැක.


තවත් කෙනෙකු ආදර්ශයට ගන්නා ලෙස ඔබට පැවසිය හැක.නමුත් සැසඳිය නොහැක.මව හා පියා යනු දරුවන්ගේ පළමු ආදර්ශයයි.


ඇතම් විට ඔබේ සැසඳීම සමාජයට කෲර මිනිසෙකු දායාද කළ හැකිය.


සුද්ධොදන රජුට තම පුතුව සක්විති රජෙකු කිරීමට අවැසි වුණි.නමුත් ඔහු උතුම් බුදු පදවිය ලබා ගත්හ.උන් වහන්සේ සක්විති රජෙකු වූවානම් ඇතම් විට ලොකයක් මෙලෙස නිවී සනසන්නට,නොහැකි වන්නට ඉඩ තිබුණි.


ඔබ කැමති දේ නොව දරුවාට ඔහු කැමති දේ කිරීමට ඉඩ හසර සලසන්න.එවිට ඔහු තෘප්තිමත්,ජයග්‍රාහී,සාර්ථක මිනිසෙකු වනු නොවනුමානය.මන්ද ඔහුව එම මාර්ගයේ බලෙන් කිසිවෙකු ඇඳගෙන යන්නේ නැත.ඔහු ඔහුට අවැසි දේ සොයා එම මාර්ගයේ ඔහු විසින්ම ඇවිද යයි.


ඔබේ දරුවා නොසසඳවන්න.ඉඩ වෙන් කර දෙන්න ඔහුගේ මාවතේ නිදහසේ ඇවිදන් යාමට.


දක්ෂතා හඳුනාගන්න,දක්ෂතාවට පාර පෙන්වා දෙන්න.ඔබ බලා සිටින්න ඔබේ දරැවා ඔහුගේ සිහින ජයගන්නා අපූරුව.


එවිට ඔබ ඔබටම ස්තූති කරනු ඇත.මන්ද ඔබ ඔහුට අවැසිම දේ ඔහුට ලබා දීම පිළිබඳව.


දරුවා ඔබේ සිහිනය ඉටු කරායැයි ආඩම්බර නොවන්න.සැබෑවටම ආඩම්බර වන්න ඔහු ඔහුගේම සිහිනය ඉටුකර ගත් දාට.......


“නිදහසේ ජීවිතය දිනන දරු පරපුරක් උදෙසා මගේ හඬ”


   ශෂිකලා කාවින්දි