🧒Hi
Good morning
Oya mk???

👧Hi
Good morning ....

🧒Ithin oya mk???

👧Fb thama ...

🧒Mm oya koheda????

👧Peradeniye oya ????

🧒Mn Kurunegala. Wayasa kiyada oyt?

👧25 oyt?

🧒Ahh nangiyek.. Mn baye hitiye..

👧Mmm....

🧒Ithin nangi baboo kiyanna oya moko karanne?


මේ විදිහට ඇරඹි සංවාදය කෙතරම් දුර ගියාද ජීවිත කෙතරම් වෙනස් කරාද යන්න ගැන නම් අදටත් මට අදහසක් හරි හැටි නැත. අධ්‍යාපන කටයුතු වලම නිරත වෙමින් ගෙවුණු වසර 24ක ජීවිතය අවසානයේ මම සිටියේ උපාධි ලෝගුව පළදා ගැනීමට ඇඟිලි ගනිමිනි.

පොත් මිතුරන් සරසවිය අතර කාලය ගෙවෙන කල නොදැනුන තනිකමක් නිවසටම වී දවසම තනිව ගෙවන කල දැනෙන්නට විය. මව්පියන් ඔවුන්ගේ ව්‍යාපාර සමඟ වෙහෙසෙන කල මා ඔවුන්ව දුටුවේ ද කලාතුරකිනි . පෙර දිනවල යාවත්කාලීන කීරීමට හෝ වෙලාවක් නොමැතිව තිබූ ෆේස් බුක් ගිණුමේ ඉහළ පහළ ගොස්ම දැන් මට වෙහෙසය.

ඉතින් අළුත් අදහසක් ලෙසින් ව්‍යාජ ගිණුමක් මා තැනුයේ එනිසාවෙනි. ජීවිතයට දැක තියා නම වත් හරිහැටි නොකියවා මිතුරු ඇරයුම් යොමු කල මා ගැනම මට පුදුමය. යොමු කරනා සැනින්ම ඒවා පිළිගනිමින් විවිධ කෙටි පණිවිඩ යොමු කීරීමට ද ඔවුන් අමතක කලේ නැත.
ඉතින් එදා සිට මම වෙනමම පුද්ගලයෙකි. ජීවත්වූයේ සුන්දර මහනුවර නගරයේ පේරාදෙණියේය. වයස 25කි. ආයතනයක රැකියාවක් කරන බවද එම තොරතුරු වලටම ඇතුලත් විය. නාමය නම් හරිම අමුතුය. ඒ නිදී වීරසිංහය.
තත්පර පැය වරු ගණන් වී ගෙවී යන විට අමුතු අමුතු මිතුරන් රැසක් නිදී හා සමීප විය. දුක හිතෙන්නට කවි පදයක් අමුණන්න ඈ බෝ සේ දක්ශ විය. ඉතින් ඇයගේ දුක අසන්නට හිත නිවන්නට පැමිණි කෙටි පණිවිඩ ද නිමාවක් නැත.

ඔය අතරට කල්පන රාජපක්ෂ ගේ මිතුරු ඇරයුම පැමිණියේ නිදී වීරසිංහ ගේ ජීවිතය මෙන්ම සෙනිදි නිශාලා මදනායක වූ මගේ ජීවිතයද උඩු යටිකුරු කරමිනි. මිතුරු දෙබස ඇරඹියේ ඉහත අයුරිනි. නමුත් අවසන ගැන නම් ඇත්තේ පැනයක් ම පමණි.
මධ්‍යම පාන්තික පවුලක එකම දරුවාගෙ චරිතය රඟ දැක්වූ මා එයට සාධාරණයක් වනු පිණිස ජායාරූප මුහුණු පොතට මුදා හැරීමද සිදු කළෙමි. නමුදු ඒවා මාගේ ජායාරූප නොවුන බව දන්නේ මා පමණකි .. හොඳම මිතුරිය ලෙශාරාට මාගේ දුරකථනය ඇයගේම වැනිය. ඉතින් එහි තිබූ ජායාරූප බහුතරයක් ඇයගේද විය.. මාගේ මෙන් මම ඒවා වරින් වර මුහුණු පොතට මුදා හළෙමි.

වතගොත විමසීම් අවසානයේ සතියක ඇවෑමෙන් අපි හොඳ මිතුරන් වුනෙමු. දවසේ සිදුවන හැමදේම බෙදා ගන්නට තරමින් ඔහු මා දිවියට සමීප විය. ඔහුගේ සේයා රූ මා කෙතරම් දැක ඇතත් මගේ සේයාවන් නම් ඔහුට රහසක් විය.
කුරුණෑගල නගරයේ ඈත දුශ්කර ග්‍රාමයක උපත ලද කල්පන රාජපක්ෂ දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ දෙටු පුතුන්ය. පෞද්ගලික ආයතනයක මුරකරු සේවයේ නිරත ඔහු නිදී වීරසිංහ හට ප්‍රේම යෝජනාවක් ගෙන ආවේ මුහුණු පොතෙන් ඈ හා බැදි තෙමසක් ගතවන විටදීය.

පියාගේ ව්‍යාපාරික මිතුරෙකු ගේ පුත්‍රයෙකු මට යෝජනා වන්නේ කුඩා කලදීය.. ඉතින් විහිළුවට හෝ ප්‍රේම සම්බන්දතාවයක් පැවැත්වීමට ඉඩ හසර අහිමි විය. පියාගේ දැඩි රැකවල් මැද එවැනි අවස්ථාවක් සැලසුනේද නැතිම තරම්‍ ය. නමුත් මෙය අමුතු අවස්ථාව කි. කෙතරම් ප්‍රතික්ෂේප කලද ඔහු සිය උත්සාහය අත අරින්නේ ද නැත. ඉදින් යෝජනාවෙන් දෙමසකට පසු සුරූපී නිදී වීරසිංහ කඩවසම් කල්පන රාජපක්ෂගේ පෙම්වතිය විය.
කාලය වේගයෙන් වසරක් ඉදිරියට ඇදුනි. මුහුණු පොතේ කෙටි පණිවිඩ, දුරකථන සංවාද වලට පමණක්ම මෙම පෙම් පලහිලව්ව සීමා වූයේ කොරෝනාවලට පැවති සංචරණ සීමා නිසාවෙන්ද නැතිනම් මගේ ප්‍රතික්ෂේප කිරීම් හා මග හැරීම් හමුවේද යන්න තීරණය පාඨක ඔබ සතුය.
" මල් වත්තේ මගේ පුංචි රෝස මල", යැයි කියමින් කුඩා රූපයක් තුරුළු කරගත් උන්මත්තක යැයි හදුන්වන මිනිසෙකු එහිදී මගේ නෙත ගැටුනේ අහම්බෙනි. හරි හැටි සිහියක් නැතත් මගේ හිතට ඔහු පිළිබඳ යම් චකිතයක් නම් ඇති විය.

උපාධියත් ඔන්ලයින් ක්‍රමයෙන් ම ලබා ගෙන මේ වන විට මම පියාගේ ව්‍යාපාර සදහා දායකත්වය ලබා දෙන්නට විය. නිදී නම් හැකි සෑම මොහොතකදීම සිය පෙම්වතා අමතක කලේ නැත. නමුදු මේ වන විට මාගේ කාර්‍ය්බහුලත්වය නිසාවෙන්ම ඔහුව මග හැරුණු අවස්ථා අපමණ විය. මා ඔහුට පෙම් කලා ද ජීවිතයට වෙනසක් පාළුවට සැනසුමක් ඔහුගෙන් පැතුවාද යන්න මෙය ලියන විටත් මටම නැගෙන පැනයකි.
තනුජ් දේශිත රාජනායක මේ ජීවිත මැදට එන්නේ ඔය අතරතුරේදිය. ධනවත් ව්‍යාපාරික පවුලක එකම පුතු වන ඔහුට නැගෙනියක් ද විය. කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිය හදාරා අංගොඩ මානසික රෝහලේ වෛද්‍යවරයකු ලෙස හෙතෙම මේ වන විට සේවය කරයි. මව්පියන්ගේ කැමැත්තට විරුද්ධ නොවී ඔහු මා හා විවාහයට සූදානම් වන්නේ ඔවුන්ගේ ආශිර්වාදය මැදිනි.

මගේ පසින් ද එය එසේමය. කවදාවත් මව්පිය බසට විරුද්ධ නොවූ මම මෙවරද එහි වෙනසක් කරන්නට සිතුවේවත් නැත. කුඩා කලම මිතුරන් ලෙස දන්නා හදුනන තනුජ්ගේ වරදක් මට නොදැනෙන සේම දෑස සේ මා සුරැකි දෙමව්පියන් මට සිහිනෙන් හෝ වරදක් සිදු කරන්නේ ද නැත. මිල මුදල් වත්කම් අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව ගතිගුණ සහ හැඩරුව අතින් ද තනුජ් බොහෝ ඉදිරියෙන් සිටියේය. ඉඳින් සය මසක ඇවෑමෙන් එළඹෙන මංගල මාසයේ තනුජ්ගේ පතිනිය වීමට මම ලක ලෑස්ති වූයේ ඔහුගේ සහ පවුල් දෙකෙහි සියළු දෙනාගේ ද සහයෝගය මැදිනි.
කාර්‍ය්බහුල ජීවිතය නිසාවෙන් නිදි වීරසිංහ මියදුනේ හැකි විගසින්‍ ය. ඇය නමින් භාවිතා කල දුරකථන අංක සහ මුහුණු පොතේ ගිණුම ද මගේ අතීත මතක අතරටම එකතු විය. නමුත් මට අමතක වූ එකම එක දෙයක් කෙනෙක් විය. එනම් නිදී කෙරෙහි අසීමිත ආලයකින් ලය පුරවාගත් කල්පන ය. කිසිම ලෙසකින් මා හා සම්බන්දතාවයක් පැවැත්වීමට නොහැකි වූ තැන හදිසියේ කිසිවක් නොපවසාම අතුරුදන් වූ මාව ඔහු පින්බර දළදා නගරය පුරා සොයන්නට ඇත. නමුත් මා එහි යන්න ඇත්තේ ද අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි.
ධනවත් පවුල් දෙකක එකම පුතුගේ සහ දියණියකගේ විවාහ උත්සවය පැවතියේ ඉතාමත් උත්සවශ්‍රීයෙනි. සතුට සෙනෙහස සුන්දරත්වය මැදින් නව යුවතිපතිහු ලෙස අපි දිවියේ නව මගකට අත්පොත් තබන්නට විය.
කාලය ගෙවෙන්නේ සමහර ජීවිත වලට වසන්තය ද තවත් ජීවිත වලට ගිම්හානය ද රැගෙනය. විවාහයෙන් වසරකට පමණ පසු මාගේ සහ තනුජ්ගේ මේ සූදානම ඕස්ට්‍රේලියාවේ පංදිචියට යාමටයි. ඉදින් වසර කිහිපයක් ලංකාවේ සේවය කල රෝහලේට , කාර්‍ය්මණ්ඩලයට තනුජ් සමුදෙන දා සිය බිරිඳ ලෙස මා කැදවාගෙන යන්නටද අමතක නොකලේය.

බබා දන්නවාද? ඒ කොල්ලා හරි අහිංසක දුප්පත් කොල්ලෙක්. ෆේස් බුක් එකෙන් ලව් එෆෙයාර් එකක් පටන් අරගෙන ඒක බ්‍රේරේක් අප් වෙලා තමා ඔහොම වෙලා තියෙන්නෙ. ඒ ග්(ර්)ල් මෙයාට කියලා තියෙන හැමදේම බොරු. ඔය අතේ තියෙන්නෙ ඩ්(රෝ)වින් එකක් ඒ ග්(ර්)ල් ගෙ .. බෝයි හැමදාම රෝස මල කිය කිය එයාව හොයනවා. පව් මොනා වුණත් අහිංසක ජීවිතයක්. දුප්පත් දෙමව්පියොත් විදවනවා. කාටවත් ඔහොම දෙයක් වෙන්න හොඳ නැහැ . ඒ ග්(ර්)ල් වුණත් කවදා හරි විදවයි මුළු ජීවිතේම විහිළුවකට හරි ඔය කරපු වැරැද්දට නම්....

ගුවන් ගමන අතරතුර තනුජ්ගෙන් දහවලේ දුටු රෝගියා ගැන විමසූ කල මට ලැබුනේ ඔවැනි පිළිතුරකි. ඉතින් තවත් අටුවා ටීකා ටිප්පනි කුමකටද? නිසැකවම ඔහු කල්පන ය. උමතුව නිසා ඔහුගේ කඩවසම් රුව වියැකීය. එ දවස ඔහු මාව ඇමතුවේ රෝස මල යනුවෙනි. එවදන් ළඟ එදවස නොදැනුන හැඟීමක් අද මට දැනෙමින් පවතියි. ආදරය නොවන එය මා ගැනම කලකිරීමකි. පිළිකුළකි. ඉතින් තනුජ් කීවා නිවැරැදි ය. කල්පන ගේ ජීවිතය විනාශ කල වැරැද්දට මට ලැබෙන දඩුවම එය විය හැකිය. එ තුළින් මගේ මනස ද ව්‍යාකූල විය හැකිය. මටත් ඔහුට සේ උන්මත්තිකාවක ලෙස ජීවිතය උරුම වේද? නැගෙන පැන එකක් නොවේ.


මගේ හදවත උසාවියක්ව මාවම වැරදිකරුවෙකු කිරීමට කරුණු ගොනු කරන අයුරු මටම හැඟෙයි. මේ හැමටම හේතුව දුර දිග නොබලා ගත් තීරණයයි. ඉදින් මගේ කතාව ඇසූ ඔබත් මට ගැලපෙන දඩුවම තීරණය කරන්නට පසුබට නොවනු ඇත.
Sethu Ranasinghe