වසර 70ක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාව මාරුවෙන් මාරුවට දේශපාලන විද්වතුන් යයි කියාගන්නා පිරිසකට සිය චන්දය ප්‍රකාශ කර ඔවුන්ව රටේ පාලන තන්ත්‍රයට පත්කරගෙන ඇත. නමුත් එකී පරාසය තුල ඉතාමත් අල්ප පුද්ගල නාම කීපයක් හැරුණුවිට අන් සියල්ලන්ම, ඔවුන් දේශපාලනය යැයි හදුන්වන රංගනයට මුවාවී මහජන මුදල් සහ රටේ සම්පත් සිය සුඛවිහරණය සදහා යොදාගෙන ඇත. ඔවුන්ව පත් කරගත් මහජනතාවත් ඒවා හොදින් දන්නා නමුත්, පවත්නා කුමන මැතිවරණයකින් වුවද බලයට පත්වන්නේ නැවතත් පැරණි පිරිසමය. 

 මේ සදහාද හේතු නැතුවා නොවේ. තමන් රටට, රටේ ආර්ථිකයට මොනතරම් හානි සිදු කලත් ඒවා මොනතරම් ජනතාව අතර ප්‍රචලිත උනත් ඊලග මැතිවරණයේදී තමන්ගේ ආසනයේ ප්‍රජාව නැවතත් තමන්ටම චන්දය දෙන බව ඔවුන්ට විස්වාශය. ඒ නිකම්ම නොව මොවුන් රටට මොන විනාසය කලත් තම ආසනයේ චන්ද දායකයාට සිය යුතුකම් ඉටුකර තිබීමයි. මොනයම් අයුරකින්හෝ ගණනය කිරීම් වැරදුනොත් ජාතික ලැයිස්තුව තිබේ. කාලයක් ගතවන විට ඕනෑම දෙයක් සම්ප්‍රදායක් ලෙස සමාජ ගතවන්නා සේම මේ විසබිජයද දැන් සමාජගතවී අහවරය. චන්ද දායකයාද හොදින් හෝ නරකින් තමන්ගේ වැඩ කරගන්නට දුවන්නේ පළාතේ මන්ත්‍රීවරයා වෙතය. ඔහුගෙන් යම්කිසි නිල නොලත් උදව්වක් ලබා ගන්නා තැනැත්තා ඊලග අවස්ථාවේදී ඔහුවෙනුවෙන් චන්දය පාවිච්චි කිරීමට දෙවරක් සිතන්නේ නැත. 

 එක් එක් අයට අවේනිකවූ උප සංස්කෘතීන් බිහිවී අවසානය. වෙනසක් දකින්නටනම් සමස්ථ යාන්ත්‍රණයම උඩුයටිකුරු කල යුතුව ඇත. මන්ත්‍රීගේ ලියුමට කිසිම ළමයෙකු පාසලට නොගන්නේ නම්, වෙනත් කිසිම දෙමව්පියෙකු හෝ විදුහල්පතිවරයකු නොමනා ක්‍රියාවන්ට නොපෙලබෙනු ඇත. සුදුසුකම් රහිතව කිසිම අයෙකුට මන්ත්‍රීගේ ලියුමට රැකියා නොලැබෙන්නේ නම් කිසිවෙකු දේශපාලකයින් පසුපස නොයනු ඇත. නිතිය සැමට සමාන නම් මිනිසුන් වරදක් කිරීමට පෙර දෙවරක් සිතනු ඇත. ඉතාමත් වැදගත් කාරණයනම්, මේ පෙරලිය සදහා අප පෙළගැසී ඇත්තේ ඉතාමත් සුදුසු කාලවකවානුවේය. මිනිසුන් වෙනස් වන්නට පටන්ගෙන තිබේ. ඔවුන් මම සංකල්පයෙන් මිදී අපි සංකල්පයට එලෙබෙමින් සිටි. වරද දුටු තැන එයට එරෙහි වන්නට පටන්ගෙන තිබේ. නමුත් පවතින දුෂිත ක්‍රමවේදයේ පැවැත්මට මෙය මරු පහරකි. මේ පුනරුදය උපන්ගෙයිම මරදමන්ට ඔවුන් කළහැකි සියලුදේ කරනු ඇත. නමුත් විශ්වාසය මත නොව බුද්ධිය මත පදනම්ව නැගෙන ජනතා අරගලය අන් සියල්ලන්ටම වඩා බලවත් වනු ඇත.