එතකොට මම හතර වසරෙ නැත්තන් පහ වසරෙ. පුංචි කාලෙ ඉදන්ම මගේ එක හොද පුරුද්දක් තිබුණා. ඒ තමයි දකින දකින දේ අම්මලගෙන් ඉල්ලුවෙ නැති එක. මොකද මං එහෙම ඉල්ලුවත් ඒවා අරන් දෙන්න තරන් අම්මලා ගාව සල්ලි නෑ කියන්න මගෙ පුංචි මොලේට ඒ දවස් වල ඉදන්ම තේරුනා.
ඉතිං ඉස්කෝලෙ ඇරිලා අම්මා මාව එක්කගෙන එද්දි ගෙදරට ඕනි කරන කලමනා ගන්න කඩේකට ගොඩ උනාම අම්මා මගෙන් අහනවා මොනවද අරගෙන ඕනෙ කියලා. මම ඉතිං කඩේ ඉස්සරහා ලස්සනට තියලා තියෙන ප්ලාස්ටික් බෝතල් දිහා බලන් ඉදලා ' අම්මා කැමති දෙයක් අරන් දෙන්නකෝ ' කියලා කියනවා.
අදටත් මම අම්මා එක්ක ඒ කඩේකට ගියාම ඒ මුදලාලිලා හිනාවෙවී ඒ අතීතය මතක් කරනවා.
හැබැයි මගේ ළඟ එක නරක පුරුද්දකුත් තියෙනවා. සමහර වෙලාවට ඒක නරක පුරුද්දක් කියලා හිතුනත් තවත් වෙලාවකට මම හිතන්නෙ ඒක තමයි මගේ තියෙන හොදම පුරුද්ද කියලා.
ඒ තමයි මට දෙයක් ඕනෙ උනාම ඕනමයි. එහෙමයි කියලා මට ඕනෙ උනේ නරක දේවල් එහෙම නෙවෙයි. මං හීන මවාගෙන ආස කරපු දේවල්.
ඉතිං එහෙම ආසාවක් ඇති උන දෙයක් අරන් දෙනකන්ම පුංචි කාලෙ මම ඇවිටිලි කලා. මට ඉතිං එහෙම ආසාවක් ඇතිවෙන්නෙ හාවා හඳ දකින්න වගේ වෙච්ච එක අපේ අම්මලට හොදට ගියා.
කොහොමින් කොහොම හරි අපේ ගෙවල් ළඟ නංගි කෙනෙක්ගෙ ගෙදරකට මම සෙල්ලම් කරන්න ගියා. ඉතිං ඒ ගිය දවසක තමයි මේ අපූරු සෙල්ලම් බඩුව මගෙ ඇහැ ගැටුනෙ. ඒ තමයි ලස්සන රෙදි බෝනික්කෙක්. ඉතිං පුලුං පුරෝපු දිග හීනි අත් , කකුල් , කැරලි වෙච්ච දුඹුරු පාට කොණ්ඩෙ පුංචි මාව පිස්සු වැට්ටුවා.
මටත් හරි ආසාවක් ආවා එහෙම බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න. සාමාන්යයෙන් අවුරුදු දෙකක් තුනක් වයස පුංචි ළමයෙක් තරමටම ඒ බෝනික්කා ලොකුයි.
එයාව දැකලා ආව දවසෙ ඉදන්ම මගෙ ඔලුවෙ වැඩ කලේ බෝනික්කෙක් ගන්නෙ කොහොමද කියන එක. එකපාරම ඉල්ලන්නත් බයයි. අනික එකපාර ඉල්ලුවා කියලා කොහොමත් මට බෝනික්කෙක් ලැබෙන්නෙ නෑ කියලත් මං දන්නවා.
ඉතිං ඉවසන් ඉදලා ඉදලා දවසක් මමත් අම්මගෙන් රෙදි බෝනික්කෙක් ඉල්ලුවා. මුලදි අනම් මනන් කියලා අදි මදි කලත් පස්සෙ අම්මා පොරොන්දු උනා තාත්තගෙන් අහන්න.
- රුපියල් පන්සීයකට කිට්ටු වෙනවා ..
රෙදි බෝනික්කා ගැන අම්මා කිව්ව ගමන්ම තාත්තා කිව්වා. ඔයවගේ ඒවට වියදන් කරන්න සල්ලි කොයින්ද ? තාත්තා ආයෙමත් කිව්වා.
ඒ කොහොම කලත් මගෙ පුංචි මනසට ඕනෙ උනේම රෙදි බෝනික්කෙක්. දැන් නම් රුපියල් පන්සීය කියන්නෙ මොකද්ද , ඒත් අමාරුවෙන් පිරිමහන් ජීවත් වෙන පවුලකට ඒ ගාන අදටත් මහමෙරක් වගේ වටිනවා.
කාලය හෙමීට ගෙවිලා ගියා. ඒත් මගෙ ආසාව නම් අඩු උනේ නෑ. මං නිතර නිතර බෝනික්කෙක් ඉල්ල ඉල්ල ඇවිටිලි කලා. කොටින්ම හීනෙන් පවා පෙනුනෙ බෝනික්කෝ.
මට මතකයි ඉස්සර තාත්තා සති අන්තෙ දවස් වල ඉස්සරහා ගෙදර මාමත් එක්ක අත් වැඩ දෙන්න ගියා. දවස් පහක් පුරාවට ටයර් ෆැක්ට්රියක මැෂින් එක්ක හෙට්ටුවෙලා තාත්තා සෙනසුරාදා ඉරිදත් අත්වැඩ දෙන්න ගියා. එහෙම ගියාම එයාට දවසකට දෙන්නෙ රුපියල් පන්සීයයි.
ඉතිං එදත් තාත්තා අත්වැඩ දීලා හවස ගෙදර ආවා. ඒ එද්දිත් වහිනවා.
ඒ ආව පිම්මම මට කිව්වා පානදුරේට යන්න ලෑස්ති වෙන්න බෝනික්කෙක් ගේන්න කියලා. මගෙ සතුට ඉහ වහා ගියා. මං දුවලා ගිහින් ලෑස්ති උනා.
ඒ කාලෙ තාත්තට තිබ්බෙ යමහා මේට් එකක්. මං ඉදගෙන ගියේ ඉස්සරහා පොඩී කෑල්ලක.
දැන් කොහොම හරි වැස්සෙම තුන් දෙනා යනවා. අම්මා බනිනවා. තාත්තා හ්ම්ම් සද්දයක් නෑ.
කඩවල් කීපෙකටම ගියා. නානාප්රකාරයේ බෝනික්කො මට පෙන්නුවා. ඒත් ඒ එකෙක්ටවත් හිත ගියේ නම් නෑ. පෙන්නන පෙන්නන එකා එපා කියද්දි තාත්තට කේන්තිත් එක්ක.
මමත් ඉතිං පොඩි උනාට මගේ හිතට සැටිස් වෙනකන්ම හොයනවා. අවසානෙට හොයලා හොයලා මගෙ හිත ගිය බෝනික්කෙක් මට හම්බ උනා. එයා ඇදන් හිටියෙ දුඹුරු පාටට හුරු මල් මල් ගවුමක්. කහ පාට සපත්තු දෙකකුයි කහ පාට තොප්පියකුයි දාලා. හරිම හුරු බුහුටියි. දැක්ක ගමන් මට ආස හිතුනා.
හරියටම එයාගෙ ගාන රුපියල් පන්සීයට පොඩ්ඩයි අඩු. තාත්තා එදා අත්වැඩ දීලා හම්බ උන රුපියල් පන්සීයෙන් මට බෝනික්කා අරගෙන දුන්නා.
එදා මට දැනුනෙ මුලු ලෝකයක් දින්නා වගේ සතුටක්. හැබැයි දැන් නම් දුකක් දැනෙනවා. තාත්තා කොයිතරම් දුක් වේදනා හිතේ හංගගෙන මං වෙනුවෙන් කැප උනාද කියලා.
තාමත් ඒ බෝනික්කා මං ළඟ ඉන්නවා. දැන් එයාටත් අවුරුදු එකොළහක් දොළහක් වෙනවා.
' අද්භූත බෝනික්කාගේ වියරුව ' පොත කියෙව්වට පස්සෙ , ඇනබෙලා බැලුවට පස්සෙ එහෙම නම් බෝනික්කො ගැන තිබ්බ ආසාව පොඩ්ඩක් අඩු උනා.
ඒත් තාමත් අම්මා බෝනික්කගෙ ඉතිහාස කතාව මතක් කරනවා. මේ ළගදිත් මතක් කලා. එහෙම වෙලාවට මට මෙහෙම දෙයක් හිතෙනවා.
ජීවිතේ කියන්නෙම සල්ලි නොවුනත් , තමන්ගෙ දරුවෙක් ආසාවෙන් දෙයක් ඉල්ලද්දි ඒ දේ අරන් දෙන්න බැරි උනාම දෙමව්පියෝ කොච්චර වේදනාවට , අපහසුතාවයට පත් වෙනවද කියලා.
ඉතිං මට ඕනි දවසක අන්න ඒ අපහසුතාවයෙන් මිදෙන්න. ඒ කියන්නෙ ළමයින්ට ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන එක නෙවෙයි. ඒ පුංචි හිත් සතුටින් පොහොසත් කරන්න මට ඕනෙ. දරුවන්ට නැති බැරිකම් තේරුන් කරලා දෙන්න ඕනි. අනිත් අතට ඉදලා හිටලා හරි ආසාවෙන් ඉල්ලපු දෙයක් ලැබෙනවා නම් පොඩි උන් උනත් හරි ආසයි.
මේක එකම කාසියක දෙපැත්තක් වගේ.
ඉතිං එහෙම බලද්දි මට මං ගැන සතුටුයි. මොකද මං නැති බැරිකන් තේරුන්ගත්තා. අනිත් අතට මගෙ අම්මයි තාත්තයි ඉදලා හිටලා හරි සල්ලි හොයාගෙන මං ආසාවෙන් ඉල්ලපු දෙයක් මට කොහොම හරි අරන් දුන්නා.
ඉතිං මං හිතන්නෙ ජීවිතේ කියන්නේ මේකට. ජීවත් වෙනවා කියන්නෙ මේකට. ආදරය , තේරුන් ගැනීම , අන්යෝන්ය බැදියාව කියන්නෙත් මේකටම තමා.
------------------------------
Dulanjali_Kankanamge