ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි. අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් ‍රැසක් පවතින මෙහි බෝධිඝර, පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50 ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000 ක් පමණ පැරණි ඉතිහාසයක් නාමල් උයන සතුය. 


ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.අක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර පද්ධති රැසක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානය ද මෙය වේ. මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත.


ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නා ගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල, කළුවර, මිල්ල ආදි ශාක රැසක් ද දක්නට ලැබෙයි. අපේ රටට ආවේනික වූ හා ආවේනික නො වූ පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72 ක් හා කෘමි විශේෂ 75 ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.පුරා විද්‍යා රක්ෂිතයක් ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ. ජාතික නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක් ද පවති. මෙය දකුණු ආසි‍යාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙස ද හැදින්වේ. තිරිවාන නිධිය තුළ "ආගනේය "නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ ක‍රගෙන ඇත.


පුරා විද්‍යාගවේෂකයෙකු වන බන්දු වීර‍වර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25 ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයන තුළ කළ පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20 ක භුමි භාගයක පොසිල විසිර තිබේ. පුරා විද්‍යාත්මක, අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකින් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක් ද ඇති බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.