ජපානයේ මේ වනවිට පැවැත්වෙන ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් සහභාගී වූ බව අප සියලු දෙනා දනිමු. ඔවුන් එක් අයෙකුට ඩොලර් 15,000 ක මුදලක්ද ලබාදී වෙනත් ගමන් වියදම්ද රජයෙන් දරමින් ඔවුන් ටෝකියෝ වෙත යැවූ බවද අප දනිමු. එසේම ඔවුන් සියලු දෙනාටම සුභ පතන්නට ලාංකිකයන් වන අප අමතක නොකළ අතර මේ අතරින් එක් අයෙක් හෝ පදක්කමක් ගෙන රටට කීර්තියක් අත්කර දෙනතුරු අප බලාසිටිමු. එහෙත් යථාර්තය අප සිතනවාට වඩා වෙනස්ය. අපි හුරේ දමන මේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපි බලාපොරොත්තු වන ජාති මාමකත්වයෙන් ක්‍රීඩා කරන්නන් නොවන බව කිව යුතුය. 


විවිධ හේතුන් මත විදේශ රටවල වාසය කරන කීප දෙනෙකුම මෙවර ජාතික ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරන බව ඔබ අප සියලු දෙනා දනිමු. ඔවුන්ගෙන් ඇතැමෙකු එම රටවල ක්‍රීඩා කිරීම සදහා වැටුප් ලබන්නන්ද වේ. ඒ සියලු සැප සම්පත් අතහැර මේ අවස්ථාවේ අපේ පුංචි රට නියෝජනය කරන්නට පැමිණි ඔවුන් මේ වනවිට ජාතික වීරයින් බවට පත්ව ඇත. අපේ රටේ දුක් විදිමින් පුහුණුවීම් සිදුකොට එම හැකියාවෙන් ඔලිම්පික් පරිසාදනය ලබාගත් අයටත් වඩා මොවුන් ජනතා ආකර්ෂණය දිනාගෙන ඇත. 


අතීතයේ සිටම අප පිට ඔපයට රැවටෙන ජාතියක්මු. මෙහිදීද එය එසේමය. මේ පිටරටවල සිට ඔලිම්පික් සමයට රට නියෝජනය කරන්නට එන ජාතික වීරයින් එදත් ආවෝය, හෙටත් එන්නේය, එහෙත් මෙතෙක් ඔවුන් රටට දිනාදුන් පදක්කමක් නම් නැත්තේය. ඔලිම්පික් තරගයකට සහභාගී වීම ක්‍රීඩකයෙකු ලබන ඉතා විශාල ජයග්‍රහණයකි. එය හිමිවන්නේ ඉතා අතලොස්සකට පමණි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නීති රීති වලට අනුව එක් තනි ඉසව්වක් සදහා එක් රටකට ඉදිරිපත් කලහැක්කේ ක්‍රීඩකයින් තුන්දෙනෙකු පමණය. මොවුන් වාසය කරන රටවල මොවුන් ඔලිම්පික් පරිසාදනය ලබාගත්තත් ඔවුන්ට එමරටවල් නියෝජනය කිරීමට අවස්ථාවක් ලබාගැනීමට නොහැකිය. කළහැකි හොදම දෙය ජාත්‍යාල ස්ටිකරය අලවාගෙන ලංකාව නියෝජනය කිරීමය. නමුත් අප දැන ගත යුතු පරම සත්‍යනම් මේ අහසින් පාත්වුනු කිසිම අයෙකුට පදක්කමක් ජයග්‍රහණය කල නොහැකිය. එසේ හැකියාවක් ඇත්නම් එම රටවලින් ඔවුන් මෙහේ එවන්නේ නැත. අනේක දුක් විදිමින් ලංකාව තුල පුහුණුවීම් කර පරිසාදනය ලබාගත් නිමාලිලා, ටෙහානිලා, චාමරලා, නිලුකලා වෙනුවෙන් ගහන අත්පුඩියක, අඩුම පදක්කමක් ගැන බලාපොරොත්තුවක් වත් තබා ගත හැකිබව මතක තබා ගත යුතුය.